ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කරන ලදී.

මෙතෙක් කල් විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් වෙන්කර තිබූ   ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය අද (24) සිට පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කරන ලදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දෙනු ලැබූ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන තිබේ.

ජපාන රජයේ ප්‍රදාන ආධාරයක් ලෙස 1984 වසරේදී ඉදිකරන ලද ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල ආරම්භ වූයේ ඇඳන් 1000ක ධාරිතාවයකිනි. කෙසේ වෙතත්, එම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අංක 1001 දරන මෙම විශේෂ කාමරය ද අතිරේකව එක් කර තිබිණි.

රෝහල ආරම්භ කළ දා සිට ගෙවුණු වසර 42ක කාලය පුරාම මෙම කාමරය භාවිත කර ඇත්තේ අතිශය සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වුවද, ජනාධිපතිවරයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන්, රෝගින්ගේ භාවිතයට නොගෙන එය වසර ගණනාවක් තිස්සේ නඩත්තු කරමින් පවත්වාගෙන ගොස් ඇත.

අද දින සිට මෙම විශේෂ කාමරය රෝහලේ ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට නියමිතය. රාජ්‍ය දේපොළ සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන තිබේ.