ජනාධිපති අරමුදලෙන් උතුරු පළාතේ උ. පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා යටතේ විශිෂ්ටතා දැක්වූ සිසු සිසුවියන් 274කට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය කෙරේ.

සියලු පළාත්වල උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසු සිසුවියන් 3000ක් ඇගයීමට ලක් කරමින් මේ වසරේ වැඩසටහන සාර්ථකව අවසන් කෙරේ.

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023 හා 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ උතුරු පළාත් වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ කිලිනොච්චිය නෙළුම් පියස පරිශ්‍රයේදී පැවැත්විණි.

වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් සිසුසිසුවියන් 274 දෙනකු ඇගයීමට ලක් කරමින් රුපියල් ලක්ෂය බැගින් දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවූ අතර, මේ සඳහා ජනාධිපති අරමුදල රුපියල් මිලියන 2.74ක් වැය කර ඇත.

දිවයිනේ පළාත් මට්ටමින් ආරම්භ වූ මෙම වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන මෙය වන අතර, මේ අනුව ජනාධිපති අරමුදල 2023 හා 2024 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුසිසුවියන් 3000ක් ඇගයීමට ලක් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ ජාතික පාසල්, පළාත් පාසල් බේදය අමතක කර මෙරට සෑම පාසලකම සිටින දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව තහවුරු කළ යුතු බවයි. ජනතාවට අයිති ජනාධිපති අරමුදල තවදුරටත් ජනතාවට සමීප කරමින් මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්යභාරයද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් වූවාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීම ආරම්භ කළේ යාපනය දිස්ත්‍රික්කයෙන්. අද මේ වැඩසටහන අවසන් අදියරට පැමිණ තිබෙනවා. එනිසා උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ අවසන් උත්සවය යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වීම පිළිබදව සතුටු වෙනවා. ජනාධිපති අරමුදල ජනතාව වෙනුවෙන් භාවිත කළ යුතු අරමුදලක්. වත්මන් රජය අද මේ අරමුදල ජනතාව ළඟට ගෙන යාමට කටයුතු කර තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කය අධ්‍යාපනයේ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න අපට අවශ්‍යයි. උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම සිටින්නේ අපේ ජනතාව සහ අපේ දරුවන්. ඒ සෑම පාසලක්ම අපේ පාසල්. ජාතික – පළාත් බේදය අමතක කරන්න. ඒ සෑම පාසලකම සිටින්නේ අපේ දරුවන්. ඒ සියලු දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය තහවුරු කළ යුතුව තිබෙනවා.

එම නිසා ගුරුවරු පත් කිරීමේදී, ස්ථාන මාරු කිරීමේදී සහ නිලධාරීන් පත් කිරීමේදී යාපනය ගැන විතරක් හිතන්න එපා. අනිකුත් දිස්ත්‍රික්කවල පිහිටි සියලුම පාසල් ගැන හිතලා එකම හැන්දෙන් බෙදන්න.

ඔබ සැබෑ දක්ෂයින්. මෙතැන සිටින ඔබ විශ්වවිද්‍යාලයට ගිහින් යළිත් උතුරු පළාතට සේවයක් කිරීමට එන බව මට විශ්වාසයි. තව වසර තුන හතරකින් උතුරු ප්‍රදේශය පිළිබද තින්දු තිරණ ගන්නේ ඔබයි. එවිට ඔබ උතුරු පළාතේ දියුණුව ගැන සිතා මැදිහත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. රජයක් විදිහට අප මේ මැදිහත් වීම කරන්නේ ඒ දියුණුව ගැන සිතා බව කිව යුතුයි.

කථානායක ජගත් වික්‍රමරත්න, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පා.ම. වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, පා.ම. කේ. ඉලංකුමාරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් යන මහත්ම මහත්මීහු, දිස්ත්‍රික් ලේකම්වරු, උතුරු පළාතේ රාජ්‍ය නිලධාරීහු, දෙමාපියන් සහ සිසු දරු‌වෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.