ජාතික නාලිකාවට වසර 44ක් සපිරෙයි

දශක 4 කට අධික කාලයක් සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කරමින් සිටින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද සිය “44 වැනි සංවත්සරය” සමරනවා.

ශ්‍රව්‍ය දෘෂ්‍ය සම්ප්‍රදායේ ශ්‍රී ලාංකේය අ‍නන්‍යතාව ලොවට ගෙනයාමට ජාතික රූපවාහිනී යුග මෙහෙවර එදත්, අදත් ජනතාවගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වී තිබෙන්නක්.

පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කෙරුණු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශ ආරම්භ කෙරුණේ, 1982 පෙබරවාරි 15 වැනි දිනයි. මෙය, ජපාන රජයේ පරිත්‍යාගයක්.

මෙරට රූපවාහිනී ක්‍ෂේත්‍රයේ පුරෝගාමියා වෙමින් ඒ සඳහා උසස් ප්‍රමිතියක් සහ කලාත්මක පරිසමාප්තියක් හඳුන්වා දුන්නේ, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවයි. මෙරට නිල විද්‍යුත් සන්නිවේදකයා ලෙස සමාජ ප්‍රගමනය උදෙසා පැවරෙන සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රූපවාහිනී සංස්ථාව නිරන්තරයෙන් කැප වී සිටිනවා.

ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ ඉහළ රසඥතාව වෙනුවෙන් ජාතික රූපවාහිනිය, චැනල් අයි, නේත්‍රා යන නාලිකා 3 ක් ඔස්සේ වැඩසටහන් විකාශය ‍කෙරෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, භාෂා ත්‍රිත්වයෙන්ම වැඩසටහන් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශේෂයෙන්, මෙරට ජාතික හා ජාත්‍යන්තර සජීව විකාශයන්වලද එදා මෙන්ම අදත්, නියමුවා සහ ප්‍රමුඛයායි.

ජනකොටස් අතර අන්‍යෝන්‍ය ගෞරවය, සුහදතාව සහ විශ්වාසය ශක්තිමත් කිරීමට දායකවෙමින් රූපවාහිනි සංස්ථාව රටේ සංහිඳියා ක්‍රියාවලිය වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ, සුවිශේෂී මෙහෙවරක්.

දිවයිනේ වැඩිම ආවරණ කලාපයක් හිමි සන්නිවේදකයා වන්නේද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවයි. නවීන තාක්ෂණයෙන් යුත් මෙම ආයතනය සතු වටිනාම සම්පත වන්නේ, නිර්මාණශීලී මෙන්ම නිසඟ දක්ෂතාවන්ගෙන් පිරිපුන් නිෂ්පාදකවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලයයි.

දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සුවහසක් ප්‍රේක්‍ෂක ජනතාව වෙනුවෙන් එදා-මෙදා මෙන්ම මතුදා ද, තිළිණ කරන්නේ හරවත් වැඩසටහන්.

වෙනස්වන සමාජයට අනුගත වෙමින්, එහෙත් සංස්කෘතිය හා සම්ප්‍රදාය නොබිඳිමින් සාර්ථක පෙර ගමන්කරුවකු ලෙස රූපවාහිනී සංස්ථාව ක්‍රියා කරමින් සිටින්නේ පැවරී ඇති සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කරමින්.