ජාතික රෝහලේ, විකලාංග අංශයේ කෘත්‍රීම පාද නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වේ.

ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා වන අවබෝධතා ගිවිසුමට ද අත්සන් තැ‌බේ.

ජාතික රෝහලේ, විකලාංග අංශයේ දැනට නවීන තාක්ෂණය භාවිතයෙන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන කෘත්‍රීම පාද නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා සිය නිරීක්ෂණයට ලක් කරන ලදි.

මෙම නිරීක්ෂණ අවස්ථාවට මානුෂීය බලගැන්වීමේ ආයතනයේ සභාපති වෛද්‍ය සුරෙනයිඩූ නයිකන් (Dr. Surennaidoo Naiken) සහ සම නිර්මාතෘ කැටරිනා නයිකන් (Kateryna NAIKEN) යන මහත්ම මහත්මීන් ද එක්විය.

ස්විස්ටර්ලන්තයේ මානුෂීය බලගැන්වීමේ ආයතනයේ (Humanitarian for empowerment) ‍අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම නියමු ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ දී අති නවීන තාක්ෂණය යොදා ගනිමින් කෘතිම පාද නිර්මාණය කරනු ලබයි.

ආබාධ සහිත පුද්ගලයින් සඳහා නව බලාපොරොත්තුවක් ලබා දෙමින් මෙම ව්‍යාපෘතිය මගින් දැනටමත් විශිෂ්ට ප්‍රතිඵල අත්කර දී ඇති අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කරමින් විශේෂඥයින් සහ කාර්මික ශිල්පීන් සමඟ නිර්මාණ කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදි.

‍මෙහිදී හදිසි අනතුරකට ලක්ව නවීන තාක්ෂණික මෙවලම් ආධාරයෙන් නිෂ්පාදනය කරන ලද කෘත්‍රීම පාද යුගලක් පැලදි දරුවෙකු මුණ ගැසී එම කෘත්‍රීම පාද පිළිබඳව අදහස් වීමසීමට කටයුතු කළ අමාත්‍යවරයා මෙරට පුනරුත්ථාපන සේවා නවීන තාක්ෂණය මුසු කරමින් වැඩිදියුණූ කිරීම සඳහා දක්වන සහාය වෙනුවෙන් සහ සේවා වැඩි දියුණු කිරීමට විශේෂඥයින් සහ කාර්මික ශිල්පීන් දරන උත්සාහයන්ට සිය ප්‍රශසංසාව ද පළ කරන ලදි.

මානුෂීය බලගැන්වීමේ ආයතනය (Humanitarian for empowerment) ක්‍රියාත්මක කරනු ලබන කෘතිම පාද නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ මානුෂීය බලගැන්වීමේ ආයතනයේ සභාපති වෛද්‍ය සුරෙනයිඩූ නයිකන් (Dr. Surennaidoo Naiken) යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22) පෙරවරුවේ සිදු කෙරිණි.

Humanitarian For Empowerment සංගමය යනු ස්වාධීන ලාභ නොලබන මානුෂීය සංගමයක් වන අතර එය සෞඛ්‍යය, අධ්‍යාපන ක්ෂේත්‍රවල විශේෂඥ පුහුණුව, සුදුසුකම් සහ අධීක්ෂණය හරහා ලොව පුරා අවශ්‍යතා ඇති ජනතාව බලගැන්වීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වේ.

මෙම නිරීක්ෂණය සඳහා සහ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.) විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (හදිසි අනතුරු සේවා, විකලාංග හා ස්නායු කම්පන සේවා) වෛද්‍ය ඒ. අයි. ජාගොඩ ඇතුළු නිලධාරී පිරිසක් සහ Humanitarian for empowerment ආයතනයේ නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.