ජින්තුපිටිය වෙඩි තැබීමට සහය දුන් ත්‍රීවීල් රියදුරු සහ සහකාරිය දැලේ

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්.

ජින්තුපිටිය ප්‍රදේශයේදී 2026.02.14 දින වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කර පුද්ගලයින් 04 දෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊයේ (27) දින කඩවත, සුරියපාළුව ප්‍රදේශයේදී හා වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 540 ක් සමඟ සැකකරුවෙකු හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 100 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 44 ක් හා සැකකාරිය අවුරුදු 29 ක් වන සේදවත්ත හා වෙහෙරගොඩැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.   

මෙම සැකකරු අපරාධයෙන් පසු වෙඩික්කරු ගිනි අවිය ද රැගෙන පලාගිය ත්‍රීරෝද රථයේ රියැදුරු බවත්, සැකකාරිය මොහුට සහාය දක්වා ඇති බවත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සැකකරු හා සැකකාරියට දින 07 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව ඇති අතර වෙරළබඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.