ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේදී පිළිස්සුම් තුවාල ලැබූ රෝගියෙකු රැගෙන යමින් තිබූ ගුවන් යානයක් ඝන වනාන්තරයකට කඩා වැටීමෙන් එහි සිටි හත් දෙනෙකු මියගොස් තිබෙනවා.
අයහපත් කාලගුණය මීට හේතුවී ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.
ජාර්කන්ඩ් ප්‍රාන්තයේ රාන්චි නගරයේ සිට බරපතල පිළිස්සුම් තුවාල ලැබූ රෝගියෙකු රැගෙන නවදිල්ලිය බලා පියාසර කරමින් තිබූ රෙඩ්බර්ඩ් එයාර්වේස් ආයතනයට අයත් බීච්ක්‍රාෆ්ට් වර්ගයේ මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 7.11 ට පමණ ගමන් ආරම්භ කරනු ලැබුවා.
ගුවන් ගමන් පාලක මැදිරිය සමඟ පැවති සබඳතා බිඳ වැටීමෙන් අනතුරුව යානය සිමාරියා ප්‍රදේශයේ අතිශය දුෂ්කර වනාන්තර කලාපයකට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ පිළිස්සුම් තුවාල ලබා සිටි රෝගියා, වෛද්‍යවරයෙකු, සහායකයෙකු, රෝගියාගේ ඥාතීන් දෙදෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු සිට තිබෙනවා.
අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණය මෙම අනතුරට හේතු වන්නට ඇති බවට අනුමාන කෙරෙන අතර, අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
