ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන්, ඉන්දියාවට එරෙහිව ඉහළ තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.

නව තීරුබදු පිළිබඳව නිශ්චිතව දක්වා නැති නමුත්, ඉන්දියාවට 25% ක බද්දක් ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම ප්‍රකාශය කිරීම විශේෂත්වයක්.

ඉන්දියාව, රුසියාවේ ප්‍රධාන පෙළේ තෙල් ගැණුම්කරුවෙක්.

2022 දී රුසියා – යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දින සිට යුරෝපීය රටවල් කිහිපයක් රුසියාව සමග වෙළඳාමෙන් ඉවත්ව සිටියා.

එහෙත්, ඉන්දියාව නොකඩවා රුසියාව සමග තෙල් ගනුදෙනුවල නිරත වුණා.

ට්‍රම්ප්ගේ මෙම අනතුරු ඇඟවීම අසාධාරණ බවයි ඉන්දියාව අවධාරණය කරන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් පැවසුවේ, ගැටුම ආරම්භයේදී “ගෝලීය බලශක්ති වෙළඳපොළ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා” රුසියානු ගෑස් ආනයනය කිරීමට එක්සත් ජනපදය ඉන්දියාව දිරිමත් කළ බවයි.

පසුකාලීනව සාම්ප්‍රදායික සැපයුම් යුරෝපයට හරවා යැවූ නිසා රුසියාවෙන් ආනයනය කිරීමට පටන් ගත් බවයි ඔහු පැවසුවේ.

ඇමරිකා එක්සත් ජනපදය තවමත් රුසියාව සමඟ වෙළඳාම් කරන අතරතුර, ඉන්දියාවට බදු පැනවීම සම්බන්ධයෙන් තම විරෝධය පල කරන බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටියේ.

පසුගිය වසරේ, දැඩි සම්බාධක සහ තීරුබදු නොතකා, ඇමරිකා එක්සත් ජනපදය රුසියාව සමඟ ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 3.5 ක් වටිනා භාණ්ඩ වෙළඳාම් කර ඇති බව ඔහු අවධාරනය කර සිටිනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඕනෑම ප්‍රධාන ආර්ථිකයක් මෙන්, ඉන්දියාව ද සිය ජාතික අවශ්‍යතා සහ ආර්ථික ආරක්ෂාව ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනු ඇති බවයි.