ට්‍රම්ප්ගෙන් කැනඩාවට රතු එළි

චීනය සමග ගිවිසුමක් ඇති කර ගන්නේ නම්, කැනඩාව වෙත සියයට සියයක තීරු බද්දක් පනවන බවට එක්සත් ජනපද ජනාධිපති‍ ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙලෙස අනතුරු අඟවා ඇත්තේ, කෘෂිකාර්මික නිෂ්පාදන සහ විදුලි වාහන වෙළෙදාම සම්බන්ධයෙන් කැනඩාව, චීනය සමග නව ගිවිසුමකට එළඹීම පිළිබඳ ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ, කැනඩා අගමැති මාක් කානි විසින් ප්‍රකාශිත චීනය සමග නව ගිවිසුමට එ‍ළඹුණුහොත් එක්සත් ජනපදය වෙත ආනයනය කෙරෙන සියලුම කැනඩා භාණ්ඩ සහ නිෂ්පාදන සඳහා සියයට සියයක තීරු බද්දක් පනවන බවටයි.

කෙසේවුවද කැනඩාව සහ එක්සත් ජනපදය අතර වෙළෙදාම පිළිබඳ කැනඩා අමාත්‍ය ඩොමිනික් ලෙබ්ලාන්ක්, සිය එක්ස් ගිණුමේ නිවේදනයක් නිකුත් කිරමින් කියා සිටියේ චීනය සමග කැනඩාව නිදහස් වෙළෙඳ ගිවිසුමක් අනුගමනය කර නොමැති බවයි.

ලොව පුරා ශක්තිමත් කැනඩා ආර්ථිකයක් ගොඩ නැගීම සහ වෙළෙඳ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම ‍කෙරෙහි කැනඩා රජය දැඩි අවධානය යොමු කර ඇති බ වද අමාත්‍ය වරයා එහිදි සඳහන් කළා.

කැනඩාව සහ එක්සත් ජනපදය අතර වෙළෙඳ අර්බුදය යළි උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, කැනඩාව, එක්සත් ජනපදය මත යැපෙන බවයි.

සිය සාම මණ්ඩලයට එක්වන ලෙස කැනඩා‍ව වෙත සිදු කළ ආරාධනයද ජනාධිපති ට්‍රම්ප් ඉල්ලා අස්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.