අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස්, ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ රාජ්‍ය රහසිගත පණිවුඩ පිටවීම හේතුවෙන් මයික් වෝල්ට්ස් හට චෝදනා එල්ල වී තිබුණා.
ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ, මයික් වෝල්ට්ස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති ධුරයට නම් කර ඇති බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද සටහනක ජනාධිපතිවරයා, වෝල්ට්ස්ගේ කාර්ය භාරයට ස්තූතිය පළ කර ඇති අතර, ඔහු වෙනුවට අදාළ තනතුරු සඳහා තාවකාලිකව රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
මයික් වෝල්ට්ස් ඇමරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති.
සංවේදී හමුදා සැලසුම් සාකච්ඡා කෙරණු සමාජ මාධ්‍ය කණ්ඩායමකට මාධ්‍යවේදියෙකු වැරදි ලෙස එකතු කිරීම සම්බන්ධයෙන් වෝල්ට්ස් විවේචනයට ලක් වුණා.
ඔහු ඉකුත් මාර්තු මාසයේදී අත්ලාන්තික් සඟරාවේ ප්‍රධාන කර්තෘ ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් එක්සත් ජනපදයේ ඉහළ ආරක්ෂක නිලධාරීන් සමඟ සිග්නල් සමාජ මාධ්‍ය ජාලයේ කණ්ඩායම් කතාබහකට වැරදීමකින් මෙලෙස එක්කරගෙන තිබුණ බවයි, වාර්තා වන්නේ.
යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහි මිලිටරි ප්‍රහාරයක් සඳහා වන රහස්‍ය සැලසුම් පණිවිඩ මෙහිදී සාකච්ඡා කර ඇති අතර, එහි සාමාජිකයින් අතරට වෝල්ට්ස්, රුබියෝ සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ඇතුළත් වී තිබුණා.
ෆ්ලොරිඩාවේ හිටපු කොන්ග්‍රස් සභික මයික් වෝල්ට්ස්, ජනාධිපති ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ ධවල මන්දිරයෙන් පිටව ගිය පරිපාලනයේ පළමු ජ්‍යෙෂ්ඨ සාමාජිකයායි.
