ඩමොරොක්කෝවේ 37ක් දිය යට සැඟ වෙයිඩ

මොරොක්කෝවේ අත්ලාන්තික් වෙරළබඩ සාෆි ප්‍රදේශයේ ජල ගැලීමකින් 37 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පැයකට අධික කාලයක් පැවති ධාරානිපාත වැසි හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්වය හට ගැනුණා.

වීථිවල මඩ සහිත ජලය ගලා යාම නිසා වාහන සහ කඩ සාප්පු වලට අලාභහානි සිදුවී ජන ජීවිතයට බාධා එල්ල වුණා.

එරට අස්ෆි පාර්න්තයේ අගනුවර වන සාෆි, තුන් ලක්ෂයක පමණ ජනතාවක් ජීවත් වන ආර්ථික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් නගරයක්.

එහි නිවාස සහ ව්‍යාපාර ජලයෙන් යට වීමෙන් 14 දෙනෙකු රෝහල් ගත කෙරුණා.

ඉන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි බලධාරීන් පවසන්නේ.

සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. හදිසි ආපදා කණ්ඩායම්, බලපෑමට ලක් වූ ප්‍රදේශ ආරක්ෂා කිරීමට සහ අවතැන් වූවන්ට උපකාර කිරීමට ක්‍රියා කරමින් සිටිනවා.

සාෆි හි වරාය නගරයට සහ ඉන් පිටතට යන මාර්ග කිහිපයක් දැඩි ලෙස හානි වීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ නිසා පාසල්ද වසා තැබීමටද තීරණය කෙරුණා. වසර ගණනාවකට පසු මොරොක්කෝවට දැඩි වර්ෂාවක් ලැබුනු ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.