තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියා ගම්මන්පිලගෙන් පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල  මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. 

එහි වග උත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ආගමන හා විගමන පාලක ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. 

පෙත්සම්කරු කියා සිටින්නේ ශාන්ත සමරවීර නමැති පුද්ගලයෙකුගේ අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ඉකුත් ජූලි මස 28 වනදා හිටපු නාවික හමුදාපති  නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගත් බවයි. 

කොටි සංවිධානයේ ත්‍රිකුණාමලයේ හිටපු නායකයෙකු මෙන්ම  එම දිස්ත්‍රික්කයේ හිටපු බුද්ධි අංශ නායකයකු වන සෙල්වතම්බි මහේන්ද්‍රන් නමැත්තා  ලබාදුන්  ප්‍රකාශයක් මත  හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පවසනවා.

ඉකුත් අගෝස්තු මස 05 වන දා මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ තමා හිටපු නාවික හමුදාපතිවරයා කොටි සංවිධානයේ නායකයකුගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කළ බවත් පොලිසිය විසින් අනීතික ලෙස හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව තහවුරු කෙරෙන කරුණු එහිදී තමන් විසින් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරු සඳහන් කළා.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තමා කිසිදු ජනවර්ගයකට හෝ ආගමකට බලපෑම් වන ආකාරයේ නොසන්සුන් වන ආකාරයේ ප්‍රකාශයක් සිදු නොකළ බවත් ඔහු කියා සිටිනවා.

පෙත්සම්කරු පවසන්නේ හිටපු  නාවික හමුදාපති  නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම පිටුපස ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත ජීවත් වන බෙදුම්වාදී  එල්ටීටීඊ හිතවාදීන් සිටින බවයි.

එමඟින් මෙරට සන්නද්ධ හමුදාවන්ගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමටත්,  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ මෙරට සන්නද්ධ හමුදාවන්ට එරෙහිව පදනම් විරහිතව එල්ල කරන ලද යුද අපරාධ චෝදනා සාධාරණීකරණය කිරීමට ඔවුන් උත්සාහ කරන බවට තමා විශ්වාස කරන බවත් පෙත්සම්කරු කියා සිටිනවා.

මේ අතර  අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී තමන් ඉදිරිපත් කළ කරුණු වලට අදාළව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවට ඉකුත් 27 ජනමාධ්‍ය විසින් පලකල වාර්තා තුළින් තමන් දැනගත් බවත් ඔහු කියා සිටිනවා. 

වග උත්තරකරුවන් විසින් ඇප රහිතව තමන්ව රිමාන්ඩ් භාරයට පත් කර ගැනීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත  අවභාවිතාවට ලක් කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් සූදානම් වන බවත් පෙත්සම්කරු සඳහන් කර සිටියා.

මේ වනවිට අධ්‍යයන කටයුත්තක් සඳහා තමන් විදේශගතව සිටින බවත්  තමන් දිවයිනට පැමිණෙන අවස්ථාවේදීත් තමන්ව වග උත්තරකරුවන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට විශ්වාසදායක තොරතුරු ලැබී තිබෙන බවත් පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා සදහන් කළා.

ඒ අනුව අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී තමන් පළකල අදහස් පදනම් කරගෙන තමන්ව අත් අඩංගුවට ගැනීමට වග උත්තර කරුවන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටිනවා. 

ඊට අමතරව අත්අඩංගුවට ගැනීමකින් තොරව තමන්ට දිවයිනට පිවිසීමට අවසර දෙන ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් අයැද සිටිනවා.