නේපාලයේ මහ මැතිවරණය එරට වේලාවෙන් අද උදෑසන 7.00 ට ආරම්භ වුණා.
ඉන් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා සාමාජිකයින් 275 දෙනෙකු තෝරා පත්කර ගැනීමට නියමිතයි.
ඒ අතරින් අපේක්‍ෂකයින් 165 දෙනෙකු ඍජු ඡන්දයෙන් තේරී පත්වන අතර අපේක්‍ෂකයින් 110 දෙනෙකු තෝරා පත්කර ගනු ලබන්නේ සමානුපාතික නියෝජනය හරහායි.
මිලියන 30කට අධික ජනගහණයකින් යුත් නේපාලයේ, මිලියන 19 කට ආසන්න පිරිසක් මෙවර මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.
පක්‍ෂ 68 කින් මැතිවරණ අපේක්‍ෂකයින් 3,400 කට අධික පිරිසක් තරග වදින බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
එකිනෙකට වෙනස් ඡන්ද පත්‍රිකා දෙකක් ඔස්සේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම මෙවර විශේෂත්වයක්.
මහ මැතිවරණය කැඳවනු ලැබුවේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී නේපාලයේ ඇති වූ විරෝධතා හේතුවෙන් අග්‍රාමාත්‍ය කඩ්ගා ප්‍රසාද් ශර්මා ඕලි මහත්මිය ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.
