තායිලන්තය සහ කාම්බෝජය සාම ගිවිසුමට අත්සන් තබයි

තායිලන්තය සහ කාම්බෝජය අතර ඒකාබද්ධ සාම ගිවිසුමකට අද අත්සන් තැබුණා.

දෙපාර්ශ්වය අතර සාම ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මැලේසියාව වෙත පැමිණ සිටිනවා.

මතභේදාත්මක දේශසීමාව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන අර්බුදයක් පවතින තායිලන්තය සහ කාම්බෝජය අතර‍ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් දෙපාර්ශ්වය විසින් ඒකාබද්ධ සාම ගිවිසුමකට අද අත්සන් තැබුවා.

සාම ගිවිසුම අත්සන් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර වෙත පැමිණ සිටිනවා.

තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල් සහ කාම්බෝජ අගමැති හුන් මැනට් ‍විසින් දෙපාර්ශ්වය වෙනුවෙන් සාම ගිවිසුමට අත්සන් තැබූ බවයි වාර්තා වන්නේ.

ඉකුත් මැයි මස පැවති ගැටුමක් අතරතුර කාම්බෝජ සොල්දාදුවෙකු මියයැමේ සිද්ධියෙන් පසු තායිලන්තය සහ කාම්බෝජය අතර අර්බුදය තවදුරටත් උත්සන්න වුණා.

ඉන් අනතුරුව ඉකුත් ජූලි 24 වැනිදින දෙරට අතර එතෙක් පැවති දේශසීමා අර්බුදය දරුණු සටනක් දක්වා වර්ධනය වුණා.

දෙපාර්ශවය අතර දින 5ක් පුරා පැවති සටන්වලින් 33 දෙනෙකු මියගොස්, තවත් දස දහස් ගණනක ජනකායක් අවතැන් භාවයට පත්වුණා.

මැ‍ලේසියානු අගමැති අන්වර් ඊබ්‍රහිම්ගේ නායකත්වයෙන් යුත් එරට ක්වාලාලම්පූර් අගනුවර පැවති සාකච්ඡාවලින් අනතුරුව ඉකුත් ජුලී 28 වැනිදා දෙපාර්ශව විසින් සටන් විරාමයකට එකඟතාව පළ කරනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැදිහත් වීමද දැඩි ගෞරවයට ලක් වූ බවයි.

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම ස්ථාපනය කිරීම ජනාධිපති ට්‍රම්‍ප්ගේ මෙම මැලේසියානු නිල සංචාරයෙහි ප්‍රමුඛ කාර්යයක් ලෙසයි සැලකෙන්නේ.