තායිලන්ත – කාම්බෝජ ගැටුම්වලින් 12ක් මරුට

තායිලන්ත සහ කාම්බෝජ දේශසීමාවේ දෙරට හමුදා අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව තායි බලධාරීන් පවසනවා.

දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පැවති දේශසීමා අර්බුදයක් මෙම ගැටුම් වලට හේතුවී තිබෙනවා.

තායිලන්ත හමුදාවට අනුව මියගිය වැඩි දෙනෙක් තායි පළාත් තුනක සිවිල් වැසියන් වන අතර, කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වී තිබෙනවා.

කාම්බෝජයට සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ. විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ, ගැටුම් පවතින කාම්බෝජ දේශසීමාව ආසන්න ප්‍රදේශයේ ජනගහනය ඉතා අවම බැවින්, කාම්බෝජ සාමාන්‍ය වැසියන්ට හානි සිදුවීමේ අවදානම අඩු බවයි.

ඊයේ අලුයම දෙපාර්ශ්වයම එකිනෙකාට වෙඩි ප්‍රහාර එල්ල කරගනු ලැබුවා.

ගැටුම් ආරම්භ කිරීම පිළිබඳව දෙපාර්ශ්වය එකිනෙකාට චෝදනා කර ගනු ලැබුවා.

තායිලන්තය, කාම්බෝජය සමග දේශසීමාව වසා දමා ඇති අතර කාම්බෝජය, තායිලන්තය සමග සබඳතා පහත හෙළා තිබෙනවා.

කාම්බෝජය පවසන්නේ, තායි හමුදාව “අධික බලය” භාවිත කරන බවට චෝදනා කරනවා.