දකුණු අප්‍රිකාව සිය කුළුඳුල්ලෝක කුසලානයේ පහස විඳී

ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිකට් ලෝක කුසලානයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකාව අද සමත්වුනා. ඒ ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය කඩුලු 05කින් ජයගැනීමත් සමගයි.

ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරගය සදහා දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබාතිබුණා. පළමු ඉනිමට ඔස්ට්‍රේලියාව ලකුණු 212 ක් රැස්කළ අතර දකුණු අප්‍රිකාව පලමු ඉනිමට ලකුණු 138 යි. ඔස්ට්‍රේලියා දෙවැනි ඉනිම ලකුණු 207 කට සීමා වුනා. තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට හිමිවූ ඉලක්කය ලකුණු 282ක්.

ඔවුන් අද සිව්වන දිනය සදහා තරගය ආරම්භ කරන විට කඩුලු 02ක් දැවී ලකුණු 213ක් ලබාසිටියා. ඒ අනුව අද දිනයේදී ඔවුන්ට රැස් කිරීමට අවශ්‍යවුනේ ලකුණු 69ක් පමණයි. ඔවුන් කඩුලු 05ක් දැවී එම ඉලක්කය පසුකර ගි‍යේ ටෙස්ට් ක්‍රිකට් වාර්තා යලි අලුත්කරමින්.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කලා එයිඩ්න් මැක්‍රම් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 08වැනි ශතකය සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 138ක්.