දවස් 2ට පදක්කම් 22 ක්

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දින 2 ක් අවසන් වනවිට, රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 9 ක් සමග සමස්ත පදක්කම් 22 ක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

තරගාවලිය පැවැත්වෙන්නේ, ඉන්දියාවේ රාංචි හිදී.

තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ, රන් පදක්කම් 4 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

උස පැනීමේ පිරිමි ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගත්තේ, තරිඳු දසුන් විසින්.

ඔහු මීටර 2.17 ක දක්‍ෂතාවක් ප්‍රදර්ශනය කළා. මීටර 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම, ශ්‍රී ලංකාවේ රොෂාන් රණතුංග හිමිකර ගත්තා.

ඔහු තරගය අවසන් කළේ තත්පර 13.90 ක කාලයකින්. කාන්තා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවේ විනෝදනී ලක්මාලි.

ඒ, මීටර 43.01 ක දක්‍ෂතාවක් දක්වමින්. කවපෙත්ත විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම ද

ශ්‍රී ලංකාව සතු වුණා.

මිලන්ත සම්පත් මීටර 49.35 ක දක්‍ෂතාවක් දක්වමින් එම පදක්කම හිමිකර ගත්තා. මීටර 1,500 පිරිමි ධාවන ඉසව්වේ රිදී සහලෝකඩ පදක්කම් ද්විත්වය හිමිවුණේ ශ්‍රී ලංකාවට.

රුසිරු චතුරංග රිදී පදක්කමත්, රොජිඩීන් මි‍ෆ්රාන් ලෝකඩ පදක්කමත් දිනාගත්තා.

කාන්තා මීටර 1,500 ධාවන ඉසව්වේ රිදී පදක්කම හිමිවුනේ ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චිට.

සයිරි මෙන්ඩිස් මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ලොකඩ පදක්ම හිමිකර ගත්තා.

ඇය තරගය නිමා කළේ තත්පර 54.18 ක කාලයකින්. මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ රන් සහ ලෝකඩ පදක්කම ද්විත්වයම ශ්‍රී ලංකාව සතු වුණා.

රන් පදක්කම දිනාගත්තේ තත්පර 46.21 කින් තරගය නිමා කළ කාලිංග කුමාරගේ.

කල්හාර ඉන්දූපට එහි ලෝකඩ පදක්කම හිමිවුණා. මීටර 100 x 4 සහය දිවීමේ කාන්තා සහ පිරිමි ඉසව් ද්විත්වයේම රන් පදක්කම් ශ්‍රී ලංකාව දිනාගත්තා.

මීටර 100 කාන්තා සහය ඉසව්වේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ධනංජනා ප්‍රනාන්දු, අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක සහ සෆියා යමිත්.

ඔවුන් තත්පර 44.70 කින් තරගය අවසන් කළා. මීටර 100 පිරිමි සහය ඉසව්වේදී ප්‍රමුදිත් සිල්වා, සඳුන් දියලවත්ත, ඉඳුසර විදූෂන් සහ චමෝද් යෝධසිංහ ශ්‍රී ලංකාව නියෝජනය කළා.

ඔවුන් රන් පදක්කම දිනාගත්තේ තත්පර 39.99 ක කාලයක් වාර්තා කරමින්.