දිමුත් ටෙස්ට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න, ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, ඔස්ට්‍රේලියාව සමග අනිද්දා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වනු ඇති.

දිමුත් කරුණාරත්න මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 99 කට ක්‍රීඩා කර ලකුණු 7172 ක් රැස් කර තිබෙනවා.

ඔහු තම සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට නියමිතයි.

මේ දක්වා ටෙස්ට් ශතක 16 ක් සහ අර්ධ ශතක 39 කට හිමිකම් කියන දිමුත් කරුණාරත්නගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 39.40 ක්.

ඔහු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ 244 ක්.

2012 වසරේ නවසීලන්තය සමග තරගයකදී ටෙස්ට් වරම් හිමිකරගත් දිමුත් කරුණාරත්න, මෙතෙක් ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයායි.

ඔහු, ආරම්භක පිතිකරුවෙකු ලෙස ලකුණු 7079 ක් රැස් කළ අතර, එහි සාමාන්‍යය 39.99 ක්.

ටෙස්ට් ක්‍රිකට් තරග 100 ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ 7 වැනි ක්‍රීඩකයා වන්නේද, දිමුත්. ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 30 කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *