
පොලිස් නිලධාරීන් සිටිනුයේ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව කටයුතු කිරීමට වුවත් අතළොස්සක් එම වගකීම පැහැර හැර ඇති බැවින් එම පැරණි පුරුද්ද අත්හරින ලෙස ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එසේ නොමැති නිලධාරීන්ට රාජකාරියෙන් ඉවත් වන ලෙසත් එසේ ස්වේච්ඡාවෙන් ඔවුන් ඉවත් නොවන්නේ නම් සේවයෙන් ඉවත් කිරීමට සාකච්ඡාකර තිබෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අද සමාජමය අභියෝගයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර සහ නීති විරෝධී අවිආයුධ යොදා ගනිමින් සිදු කරන අපරාධ වැළැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට විශාල වගකීමක් පැවරී තිබෙන බව සඳහන් කරන ජනාධිපතිවරයා, තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන පොලිස් නිලධාරින් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් නොබියව පෙරට එන ලෙස පොලිස් නිලධාරීන්ට ආරාධනා කළේය.
කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කාලය කිසිදු බාධාවක් නොවන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා අපරාධයට හිමි දඬුවම කවදාද, කොතැනද කියා භේදයකින් තොරව ලබා දීමට වත්මන් රජය කටයුතු කරන බවද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ නීතිය සුරකිමු – සාමය අගයමු යන්න තේමාවෙන් පැවැත්වූ 159 වන පොලිස් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙය බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩා පිටියේ දී ඊයේ (03) අභිමානවත් අන්දමින් පැවැත්විණ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උත්සවයට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් පිළිගන්නා ලදි.
පොලිස් සංස්කෘතික කණ්ඩායම විසින් ක්‍රීඩාංගණයේ තිබු විශේෂ පීඨිකාව වෙත ජනාධිපතිවරයාව කැඳවාගෙන එන ලදි. එහි දී ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පළමුව ආචාර පෙළපාළියට සහභාගිවීමට සිටි පොලිස් බළඇණි හත පරීක්ෂාවට ලක්කරන ලදි. අනතුරුව සංවත්සර පෙළපාළිය ජනාධිපතිවරයාට උපහාර දක්වන ලදි.
මෙයට පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් කාන්තා, විශේෂ කාර්ය බළකාය, පොලිස් නිල සුනඛ අංශය, පොලිස් අශ්වාරෝහක බළකාය ද අයත්විය.
රට වෙනුවෙන් දිවි දුන් පොලිස් නිලධාරීන් සමරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් මෙහි දී පැවැත්විණ. ඉන්දුනීසියාවට ගොස් පාතාල අපරාධකරුවන් පිරිසක් කොටුකරගෙන මෙරටට රැගන ඒමට කටයුතු කළ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර මහත්වරුන්ට ජනාධිපතිවරයා විසින් ජනාධිපති පොලිස් වීර පදක්කම් පිරිනමන ලදි. මෙහි දී පොලිස් නිලධාරීන් 4254කට උසස්වීම් ලබාදීම ප්‍රකාශයට පත්කරන ලදී.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් විශාල ලෙස ප්‍රශංසාවට සහ ගෞරවයට ලක් වන බොහෝ අවස්ථා අපි දැක තිබෙනවා. ඒ ගෞරවය සහ ප්‍රශංසාව අපේ රටේ අභිමානවත් පොලිස් දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් විශාල පිටිවහලක් වී තිබෙනවා. එම ප්‍රශංසා සහ ගෞරවය වගේම පොලිස් දෙපාර්තමේන්තුවට යම් විවේචන සහ දෝෂාරෝපණ නොමැත්තේ නොවෙයි. ඒ නිසා වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන සියලු දෙනාගේ වගකීම වන්නේ මෙම දෙපාර්තමේන්තුවේ ගෞරවය සහ අභිමානය තිර අදිටනකින් යුතුව ආරක්ෂා කරමින් මහජනයාගේ ආරක්ෂාවත්, රටේ ආරක්ෂාවත් තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමයි.
සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට හිමි ගෞරවය සහ අභිමානය යළි අත්පත් කර ගැනීම සඳහා වත්මන් පොලිස්පතිවරයා ඇතුළු ඔබ සියලුදෙනා කැප වී කටයුතු කරයි කියා මම විශ්වාස කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳ පළ වන ඇතැම් ප්‍රවෘත්ති එතරම් හිතකර ප්‍රවෘත්ති නොවන බව අපි දන්නවා. 84,000කට ආසන්න පොලීසියේ රාජකාරි කරන ඔබ අතරින් කිහිප දෙනෙක් අතින් සිදු වන සිදුවීම් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අගෞරවයක් ගෙන දෙන බව මතක තබා ගත යුතුයි. තමන් විසින් කරන සමාජ විරෝධි, නීතිවිරෝධි ක්‍රියාවක් නිසා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අගෞරවයට පාත්‍ර වන බව මතක තබා ගත යුතුයි.
අපේ පොලිස් දෙපාර්තමේන්තුව ඉතා ශක්තිමත් පොලිස් දෙපාර්තමේන්තුවක්. ලංකාවේ ඕනෑම ආන්දෝලනයට තුඩු දෙන සිදුවීමක් ඉතා වේගයෙන් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔබ සමත් වී තිබෙනවා. ඒ නිසා ඉතා දක්ෂ පොලිස් නිලධාරීන් අප සතු ව සිටිනවා. ඒ වගේම දක්ෂතාව පමණක් නො ව, තමන් හමුවේ තිබෙන අභියෝග මතින් නිර්භීත ව පියමන් කිරීමට අවශ්‍ය ධෛර්යය සහ කැපවීම ඔබට තිබෙනවා. එහෙත්, අපේ රටේ ආන්දෝලනයට තුඩු දුන් ඝාතන සහ අපරාධ තිබෙනවා. එම ඝාතන සහ අපරාධ පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකි වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ අසමත් වීම නිසාද? එය මම කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. අපේ රටේ සොයා ගැනීමට නොහැකි වී තිබෙන අපරාධ හෝ ඝාතන සොයා ගැනීමට නොහැකි වී තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ අදක්ෂභාවය නිසා හෝ කැප වීම නොමැතිකම නිසා නොවේ. සොයාගත නොහැකි සෑම අපරාධයක් පිටුපසම දේශපාලන බලය තිබුණා.
පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොන තරම් වුවමනාවකින් සහ කැපවීමකින් එම විමර්ශන ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද දේශපාලන බලය විසින් එය අඩපණ කළ ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. අඩපණ කළා පමණක් නොව එම විමර්ශනවල නිරත වූ නිලධාරීන් හඹා ගෙන ගොස් පළිගැනීමේ සංස්කෘතියක් තිබුණා. නිවැරදිව රාජකාරිය ඉටු කිරීම, පළිගැනීමට හේතුවක් බවට පත් වූ ඉතිහාසයක් තිබෙනවා. අපේ ආණ්ඩුවක් යටතේ එවැනි දෙයක් සිදු නොවන බවට මම ඔබට සහතික වෙනවා. ඔබ ඔබේ රාජකාරිය රට වෙනුවෙන් සහ මහජනතාව වෙනුවෙන් ඉටු කරන්න නොබියව ඉදිරියට එන්න.
ඒ වගේම, ඇතැම් සංකල්ප ගොඩනඟන්න උත්සාහ කරනවා, මේ අපරාධ සහ ඝාතන වසර 15ක් ගිය විට සුද්ධ වන බවට. එම ඝාතන කිසිවක් කාලය විසින් සුජාතභාවයට පත් කරන්නේ නැහැ. අපරාධ කිසිවක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ දිය යුතු නැහැ. එම අපරාධවලට අදාළ සැකකරුවන් තවමත් නීතිය හමුවට පැමිණ වීමට නොහැකි වී තිබෙනවා නම්, එමඟින් කිසිසේත්ම අපරාධය සුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපරාධයට හිමි දඬුවම කවදාද? කොතැනද? කියා භේදයකින් තොරව දඩුවම් ලබා දීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. නීතිය ඉටු කිරීම සඳහා කාලය කිසිදු බාධාවක් නොවෙයි.
ඒ නිසා පොලිස්පතිතුමා ඇතුළු සියලු නිලධාරීන්ට වගකීමක් පැවරී තිබෙනවා. මේ රටේ ජනතාව ඔබ දෙස බලා සිටිනවා. මේ සමාජය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සඳහා ඔබගේ සේවය ඉතා සුවිශේෂයි. ඔබගේ රාජකාරිය නොවෙන්න මේ සමාජය මේ ආකාරයෙන් පවතින්නේ නැහැ. ඒ නිසා සමාජයේ යහපැවැත්ම සහ ස්ථාවරත්වය වෙනුවෙන් ඔබගේ කාර්යභාරය ඉතා වැදගත්.
අද අපේ රට මහවසංගතයකට ගොදුරු වී තිබෙනවා. නගරබදව පැවති මත්ද්‍රව්‍ය උවදුර අද ඈත ගම්මානද ගිලගෙන තිබෙනවා. අද අපේ දරුවන් මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්ව තිබෙනවා. තරුණ ජීවිත විනාශ කරමින් පවුල් විශාල ප්‍රමාණයක් දුප්පත්භාවයේ පතුලටම ඇදදමා තිබෙනවා. මෙම ව්‍යාපාරයට දේශපාලන මැදිහත් වීම් තිබුණු බව අපි කවුරුත් දන්නවා. ඒ සඳහා රජයේ වැදගත්ම ආයතනවල ප්‍රධානීන්ගේ මැදිහත් වීම තිබුණු බව අපි දන්නවා. ඒ වගේම, පොලිස් නිලධාරීන්ගේ යම් ප්‍රමාණයකද සහයෝගය මේ සඳහා තිබූ බවට වාර්තා වී තිබෙනවා.
ඔබ සිටින්නේ එම උවදුරට එරෙහිව කටයුතු කිරීමටයි. එහෙත් අතළොස්සක් එම වගකීම පැහැර හැර තිබෙන බව අකමැත්තෙන් වුවද කිව යුතු ව තිබෙනවා. ඒ නිසා එම පැරණි පුරුද්ද අත්හරින්න කියා මම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නැත්නම් ඔබ රාජකාරියෙන් ඉවත් වන්න. ඔබ ස්වේච්ඡාවෙන් එය නොකරන්නේ නම් ඔබ සේවයෙන් ඉවත් කිරීමට අපි සාකච්ඡා කර තිබෙනවා. සෑම දෙපාර්තමේන්තුවකටම එයට හිමි ගෞරවය අපි ස්ථාපිත කළ යුතුයි.
ඔබ සාමාන්‍ය පුරවැසියෙක් නොවෙයි, ඔබ මේ සමාජයේ යහපැවැත්මේ සමස්ත බර දෙවුරට ගෙන තිබෙනවා. ඔබ දෙස අපේ රටේ පුරවැසියන් මහා බලාපොරොත්තුවකින් බලා සිටිනවා. ඔබ එය ඉටු කරයි කියන විශ්වාසය අපිට තිබෙනවා. ඔබට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව අපි දන්නවා. ඔබගේ ජීවිතය පවත්වා ගෙන යාම වෙනුවෙන් ප්‍රමාණවත් වැටුපක් හිමි විය යුතුයි. ඒ සඳහා යම් වැටුප් වැඩි වීමක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔබට අදියර කිහිපයකින් එම වැටුප් වැඩි වීම සිදු වෙනවා.
අපේ රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් සාමකාමී රටක් ගොඩනැඟුවොත් රට වේගයෙන් සංවර්ධනය කරා ගෙන යාමට හැකියාව තිබෙනවා. අපරාධවලින් තොර, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වූ රාජ්‍යයක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. අපි එම රාජ්‍යය ගොඩනැඟිය යුතුයි. අපි රටක් ලෙස ලබා ගන්නා ආර්ථික ජයග්‍රහණ සහ ප්රතිලාභ පෙරළා ජනතාවට ලබා දෙනවා. එහි ප්‍රතිඵලය ලෙස ඔබට වඩා සුවපහසු ජීවිතයක් වෙනුවෙන් ඔබට ලැබෙන වැටුප් සහ දීමනා වැඩි වෙනවා.
ඒ වගේම ඔබ විශාල දුෂ්කර රාජකාරිවල යෙදෙනවා. පැය 8 වෙනුවට පැය 14 – 16 වැඩ කරන නිලධාරීන් සිටිනවා. ඒ වගේම, නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා. අපි දැනට 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ වගේම, සහායක සේවා සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනුයුක්ත කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා, ඔබගේ දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ප්‍රමාණාත්මක වැඩි කිරීම් සිදු කරනවා.
ඒ වගේම, වර්තමාන පොලීසිය තවදුරටත් බැටන් පොලු කරකවමින් හන්දියේ සිටින කෙනා නොවෙයි. අපේ රාජකාරිය වෙනස් නොවුණාට තාක්ෂණය සහ විද්‍යාව විසින් අත්පත් කර ගන්නා ලද ජයග්‍රහණ සමඟ රාජකාරිය ඉටු කරන ආකෘති වෙනස් වී තිබෙනවා. අද බොහෝ දේ තාක්ෂණය හරහා ඉටු කර ගැනීමට හැකි වී තිබෙනවා. ආණ්ඩුවක් ලෙස ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා . අපේ රට ඩිජිටල්කරණයේ ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණක් අපට තිබෙනවා. එහිදී, පොලිස් දෙපාර්තමේන්තුවට නව තාක්ෂණය සහ උපකරණ ලබා දීමට අපි සූදානම්. අපිට නූතන පොලීසියක් අවශ්‍යයි. ජාත්‍යන්තරය සමඟ එක හා සමාන ලෙස, වෘත්තීමය ගෞරවය පෙන්විය හැකි පොලිස් දෙපාර්තමේන්තුවක් අපි හදනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය, දැනුම සහ පුහුණුව ලබා දෙනවා. ඒ වගේම ආකල්පමය වෙනසක් සහිතව අපි වැඩ කරමු. මහජනතාවට සමීප පොලිස් දෙපාර්තමේන්තුවක් අපට අවශ්‍යයි. අපි සියලුදෙනා එක් වී එම නූතන පොලිසිය ගොඩනඟමු කියා මම ආරාධනා කරනවා. ගෞරවය, විශ්වාසය සහ මහජන ළෙන්ගතුකම ගොඩනඟා ගත් පොලිස් දෙපාර්තමේන්තුවක් ලෙස අපි 160 වන පොලිස් දිනය සමරමු.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා-

පොලිස් රාජකාරිය ඉටුකිරීමට ගිය නිලධාරීන් 3000කට ආසන්න ප්‍රමාණයක් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර තිබෙන අතර පූර්ණ ආබාධිත සහ ආබාධිත තත්ත්වයට පත්ව සිටින නිලධාරීන් නවසියකට ආසන්න ප්‍රමාණයක් ද මේ අවස්ථාවේ සිහිපත් කරනවා. පොලීසියේ ගෞරවයට හානි කරන කුමන තරාතිරමක පොලිස් නිලධාරියකු වුවත් නිවැරදි කළ යුතුයි. මේ වන විට විවිධ විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් 338 දෙනකු සම්බන්ධයෙන් මෙම වර්ෂයේ විනයානුකූලව කටයුතු කර තිබෙනවා.
මේ වසර තුළ අයිස් මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ 1416ක්, හෙරොයින් කි.ග්‍රෑ 946ක්, ගංජා කි.ග්‍රෑ 12802ක්, වෙනත් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ 1869ක්, මත්පෙති කරල් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ දී T56 ගිනිඅවි සහ පිස්තෝල ගිනිඅවි ඇතුළුව ගිනිඅවි 1612ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් රටවල සිට මෙරට අපරාධ මෙහෙයවූ 17 දෙනකු අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආවා. පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී ජාත්‍යන්තර පොලීසිය සමඟ එක්ව අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනකු අත්අඩංගුවට ගැනීම පොලිස් දෙපාර්තමේන්තුව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් 30, 000ක හිඟයක් පවතිනවා. මෙම තත්ත්වය තේරුම් ගත් නව රජය මේ වසර තුළ නිලධාරීන් 5000ක්ද, ලබන වසර තුළ නිලධාරීන් 5000ක්ද බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. අනෙක් පිරිස බඳවා ගැනීමටත් අනුමැතිය ලබාදෙනු ඇතැයි මා විශ්වාස කරනවා.
මෙම අවස්ථාව සඳහා කථානායක ජගත් වික්‍රමරත්න, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.