
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (05) පැවැත්වේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ දී රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ගත් තීරණයකට අනුව මෙම විවාදය හෙට පැවැත්වේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ දිනට නියමිත මූලික කටයුතු අවසන් කිරීමෙන් පසුව හෙට පෙරවරු 11.30 සිට පස්වරු 4.00 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත අතර විවාදය පැවැත්වෙන හෙට දිනයේදී කොළඹ රැඳී සිටින ලෙස, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙත දැනුම් දී ඇත.
2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාද කිරීමෙන් පසුව පස්වරු 4.00ට පමණ ඊට අදාළ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත වේ. ස්ථාවර නියෝග අනුව මෙම යෝජනාව සම්මත වීමට මුළු මන්ත්‍රීවරුන් 113ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් වේ. අදාළ යෝජනාව සම්මත වීමෙන් පසුව කථානායකවරයා විසින් ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දීම සිදු කරන අතර ඒ අනුව අදාළ යෝජනා සම්මතයෙන් පසුව ධුරයෙන් ඉවත් කිරීම සම්ප්රදාය වේ.
දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ලවූ විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂ පරික්ෂණ කමිටුව සිය වාර්තාව පසුගියදා කථානායකවරයා වෙත පිරීනැමීම සිදු විය. ඒ අනුව එම වාර්තාව තුළින්ද දේශබන්දු තෙන්නකෝන් මහතා වරදකරු කර තිබිණ. පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (04) දින න්යායපත්රයට ඇතුළත් කිරීමට නියමිත වේ