දේශ සීමා අර්බුදය විසඳීම සඳහා මැදිහත්වීම සම්බන්ධයෙන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත තායිලන්තය සහ කාම්බෝජය විසින් සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
එහෙත් දෙපාර්ශවය අතර තවදුරටත් ෂෙල් වෙඩි ප්‍රහාර සිදුවන බවයි, නවතම විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
තායිලන්ත සහ කාම්බෝජ දේශ සීමා අර්බුදය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින බැවින්, දෙරටේ නායකයින් අමතා කඩිනම් සටන් විරාමයකට එළඹෙන ලෙස ඉල්ලා සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළා.
තායිලන්ත සහ කාම්බෝජ නායකයින් හමු වී සාකච්ඡා පවත්වා කඩිනම් සටන් විරාමයකට එළඹීමට මෙන්ම, දෙපාර්ශවය අතර සාමය ඇති කරගැනීමට ද එකඟතාව පළ කර ඇති බවද සිය “ටෘත්” සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ජනපති ට්‍රම්ප් කියා සිටියා.
සිය දේශ සීමා අර්බුදය විසඳා ගැනීම සඳහා ජනපති ට්‍රම්ප් දරන ප්‍රයත්නයට දෙරට විසින් ස්තුතිය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
සටන් විරාමයක් සඳහා වන ජනපති ට්‍රම්ප්ගේ ඉල්ලීම කාම්බෝජ රජය විසින් පිළිගෙන ඇති බවද සඳහන්.
කාම්බෝජ අගමැති හුන් මැනට් ප්‍රකාශ කළේ තායිලන්තය සමග කඩිනම් සහ කොන්දේසි විරහිත සටන් විරාමයකට තම රට එකඟ වන බවයි.
එමගින් සිවිල් වැසියන්ගේ මෙන්ම සොල්දාදුවන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කළා.
දෙපාර්ශවය අතර සංවාදයක අවශ්‍යතාව තායිලන්ත රජය මෙහිදී අවධාරණය කර සිටිනවා.
සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බව තායිලන්ත වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි පවසනවා.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ තායිලන්තය සහ කාම්බෝජය සමග වෙළෙඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට තමන් අපේක්‍ෂා කරන බවයි.
එහෙත් දෙපාර්ශවය විසින් වත්මන් ගැටුම් නැවැත්වීමට ක්‍රියා කරන තුරු, එම සාකච්ඡා ආරම්භ නොකරන බවද ජනපති ට්‍රම්ප් අවධාරණය කර සිටිනවා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, දෙපාර්ශවය විසින් දේශ සීමාව ඔස්සේ එකිනෙකා වෙත තවදුරටත් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.
