දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට නොතීසි ලද විට මහාධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙන බවයි.
මහාධිකරණය නොතීසි ලද විට එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීම් කළා.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නොතිසි ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියෝග කළා.
ඉන් අනතුරුව මෙම කරුණට අදාළව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
2017 – 2018 වර්ෂයේ මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03 ක් අවලංගු කොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් යටතේ ඉන්ධන මිලදී ගැනීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීම හා ඊට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
