
වසර ගණනාවක් පුරා දහස් ගණනක ගොවි ජනතාව රවටමින් ව්‍යාජ හා නීත්‍යානුකූල නොවන අයුරින් ගම්පොළ නගරයේ පවත්වාගෙන ගිය පොහොර හා පලිබෝධනාශක වෙළඳසැලක් හා ගබඩාවක් ගුවන් හමුදා බුද්ධි තොරතුරු අනුව ගම්පොළ කඳවුරේ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරී සහායෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තු පලිබෝධ නාශක විමර්ශන නිලධාරීන්, පාරිභෝගික සේවා අධිකාරිය හා පොහොර ලේකම් කාර්යාංශ නිලධාරීන් විසින් එක්ව වටලා එහි තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් නීති විරෝධී කෘමිනාශක හා පොහොර තොගයක් සොයාගනු ලැබ ඇත.
ගම්පොළ නගරයේ නුවරවීදීයේ ඇති මෙම තොග ගබඩාව හා වෙළඳසැල මහල් දෙකකින් සමන්විත අතර එම මහල් දෙකේ හිම තිබී මෙම ව්‍යාජ පොහොර හා පළිබෝධනාශක වර්ග සොයාගනු ලැබීය.
පසුගිය පොහොර හිඟය සමඟ ගොවීන්ට නොමිලයේ ලබා දුන් දියර පොහොර වර්ග මෙම වෙළඳසැලෙන් අලෙවි කරන බවට ලද තොරතුරු මත ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ එහි තොරතුරු රැස්කර තිබුණි.
එහිදී අනාවරණය වී ඇත්තේ මෙම වෙළඳ සැල තුළ එවැනි නිත්‍යානුකූල නොවන භාණ්ඩ රැසක් ගොවීන්ට හොර රහසේ අලෙවි කරන බවය.
මේ තුළ පරිභෝජනයට ඉතා අහිතකර තහනම් වල්නාශක. අනෙකුත් අහිතකර තහනම් පලිබෝධනාශක. ලියාපදිංචි නොකළ රසායනික ද්‍රව්‍ය හා පොහොර තොග, කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය මෙන්ම හඳුනා නොගත් පොහොර වර්ග හා පලිබෝධනාශක, මිනිස් භාවිතයට ඉතා විෂ රසායනික ද්‍රව්‍ය හා උග්‍ර විෂ කාණ්ඩයේ කෘෂි ද්‍රව්‍ය තොග තිබී සොයාගනු ලැබීය.
නිත්‍යානුකූල නොවන මේ සියලු රසායනික ද්‍රව්‍ය එදිනෙදා අලෙවියට තබා ඇති නිත්‍යානුකූල පොහොර තොග අතර සඟවා තබා ඇති අතර එයින් නිකුත් වී ඇති රසායනික සංයෝජන සමඟ එම පොහොර භාවිතයේදී පරිභෝජනයට හා ලැබෙන අස්වැන්න හා ආහාර වල උග්‍ර විෂ ඇති බව මෙම නිලධාරීහු සැක කරති.
මෙම පොහොර ගබඩාවේ තිබී 2014 ආදී වසර දහයකට අධික කාලයකට පෙර කල් ඉකුත් වූ විවිධ පළිබෝධනාශක වර්ග තොග සොයාගනු ලැබූ අතර පාරිභෝගිකයන්ට ඒවා අලෙවි කිරීමේදී මොවුන් සකසා ඇති නව ලේබල් ඒ සඳහා අලවා විකිණීම සිදුකර තිබේ.
මෙම සොයා ගත් ද්‍රව්‍ය අතර මෙරට ලියාපදිංචිය තහනම් ඒ. එන්. යූ. 71 කාණ්ඩයේ වල්ණාශක බෝතල් 310 ක් තවත් එවැනි දරුණු වල්නාශක බෝතල් එකසිය අසූ තුනක්ද සොයාගෙන තිබුණි.
මෙම ගබඩාවේ හා වෙළඳසැලේ තිබූ රසායනික ද්‍රව්‍ය ගණනය කර වර්ග කිරීමට මෙම නිලධාරී කණ්ඩායම්වලට පුරා දින තුනක් ගත වුණි. එහි නියමිත වටිනාකම තවමත් රැස් කරමින් සිටින බව එම නිලධාරීහු පවසති.
රැස් කර ගත් මෙම නීති විරෝධී තොග හා හිමිකරුවන් පිළිබඳව නිත්‍යානුකූලව කටයුතු කිරීමට ඒ ඒ අංශ විසින් පියවර ගැනීමට නියමිතය.
මෙම වැටලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ මධ්‍යම පළාත් විමර්ශන නිලධාරීන් වන එස්.පි.එස්.ආරියදාස ඒ.එම්.එස්. කුමාරදාස මධ්‍යම පළාත් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.එම්.එස්. කරුණා නායක කෘෂිකර්ම උපදේශක කේ.ජී.එස්.පී. ගුණසේකර ආර්.පි. ජයලත් ඇතුළු පලිබෝධනාශක විමර්ශන නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බළකා ගම්පොළ කඳවුරේ ස්ථානාධිපති නලින්ද උඩඅරඹ ඇතුළු නිලධාරීන් හා ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් එක්ව සිටියහ.