පකිස්ථානයට ඇෆ්ගනිස්ථානයෙන් දරුණු ප්‍රතිචාරයක්

ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අතර දේශසීමා ගැටුම් මේ වන විට දැඩි ලෙස උග්‍ර වී තිබෙනවා.

ඉකුත් පෙබරවාරි 26 වැනිදින පකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඇෆ්ගනිස්ථානය ඒකාබද්ධ දේශසීමාව ඔස්සේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බවයි වාර්තා වන්නේ. ‍

මෙම තත්ත්වය කලාපීය යුදමය වාතාවරණයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

පකිස්ථානය එල්ල කළ නවතම ප්‍රහාර හමුවේ ඛෝස්ට් පළාතේ සාඩ්කෝ ගම්මානයේ සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

පකිස්ථාන හමුදාව සිතාමතාම සාමාන්‍ය වැසියන්ගේ නිවාස සහ සංචාරක කණ්ඩායම් රැඳී සිටි කූඩාරම් ඉලක්ක කර මෙම ප්‍රහාර සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට දින දෙකකට පෙර මෙම දේශසීමා සටන් ආරම්භ වූ අතර, මේ වන විට එය පුළුල් කලාපීය අර්බුදයක් බවට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පකිස්ථාන තලේබාන් සංවිධානය ඉලක්ක කර එල්ල කෙරුණු ප්‍රහාර මෙන්ම මෙම දේශසීමා ආක්‍රමණයන් හේතුවෙන් දෙරට අතර සබඳතා දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.