පත්තිනි දේවාලය විනාශ මුඛයේ දේවාභරණත් අතුරුදන්

මහනුවර රාජධානි සමයේ ඉඳිකළ බදුල්ල -ලිඳමුල්ල ථෙතිහාසිය පත්තිනි දේවාලය දිනෙන් දින විනාශමුඛයට ඇද
වැටෙන බව ප්‍රදේශාවාසීහු සහ ඉතිහාසඥයන් පෙන්වාදෙති. මාල දෙකකින් යුතු මෙම දෙවොලේ උඩමාලයේ සහ පහත මාලයේ සිතුවම් කර තිබේ. එම සිතුවම් අතර කිවුලේගෙදර අළුත් දෙවියන්, දැඩිමුණ්ඩ දෙවියන් සහ දොළහ බණඩාර දෙවියන්ද චිත්‍රණය කර තිබේ. කිවුලේ ගෙදර මොහොට්ටාල විරුවා ජීවත්ව සිටි කාලයේම ඔහුගේ රූපයද සිතුවම් කර තිබීම විශේෂත්වයකි.
දේවාල දොරටුවේ තිබෙන මකර තොරණ ඇතුළු මහනුවර යුගයට අයත් බිතු සතුවම් සියල්ල මේ වන විටත් විනාශවී තිබේ. එමෙන්ම වසර සියගණනක ඉතිහාසසයක් ඇති විශාල පුස්වැලක්ද දේවාලය අභියස තිබීමද විශේෂත්වයකි මෙම දෙවොලේ පහත මළුව හා පිවිසුම් පියගැට පෙළ නායයාම ලක් විනාශවී වසර එකහමාරකයට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් පිළිසකර කිරිමට දේවාල භාරකාරත්වය හෝ වෙනත් වගකිවයුතු ආයතනයක් මෙතෙක් අසමත් වී ඇති අවට ගම්වැසියෝ සහ බැති මතුන් චෝදනා කරති.

බොහෝ අනුහස් ඇති දෙවොලක් බවට ප්‍රකට මෙම දෙවොලට කෙම්මුර දිනයන්හි බාරහාර වීම සහ භාරහාර ඔප්පු කිරීම සඳහා විශාල පිරිසක් පැමිණෙති. තත්වය මෙසේ පවතිද්දි නොබෝදා කිසිවෙකු විසින් දෙවොලේ දොරේ ඉබි යතුරු කඩා දේවාභාරණ ,සධාතුක කරඩුවක් හා ථෙතිහාසික සඳගල හෙවත් දිවුරුම් ගල සොරකම් කරගෙන ගොස් ඇතැයි ඇතැයි බදුල්ල පොලිසිය පැවසීය.
දෙවොලේ කපු මහතා ලෙස කටයුතු කරන ඩී.ජයසුන්දර මහතා බදුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන සිදුකරන අතර පුද්ගලයන් හය දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බවත් පොලිස් නිල සුනඛයන්ද යොදවා විමර්ශන සිදුකළත් මෙතෙක් සැකකරු හදුනාගෙන නොමැති බවත් පොලිසිය පැවසීය. මාස කීපයකට පෙර ගම්මඩු උත්සවයක් පැවැත්වීමට යාමේදි දේවාලයේ නිළමේ වරයා සහ ගම්වැසියන් අතර ඇතිවූ මත බේදාත්මක් තත්වය දුර දිග ගොස් අධිකරණයට පවා ගොස් තිබෙන පසුබිමක මෙම සොරකම සිදුව ඇති බවද පොලිසිය පැවසීය.

දේවාලයේ දේවාභාරණ වලින් කොටසක් සහ සධාතුක කරඩුව මෙන්ම ථෙතිහාසික දිවුරුම් ගල සොරකම් කිරීම පිළිබදව ගම්වැසියන්ද දැඩි අප්‍රසාදය පළකරමින් සිටිති. මුදල් කැටයට තිබියදි මේ පෞරණික දේ සොරකම් කරගෙන ගොස් ඇත්තේ වෙනත් දේවාලයක් සදහා දැයි සැකයක් පවතින බව ගම්වැසියෝ කියති. බදුල්ල පොලිසියමේ සොකරම පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර මෙම දේවාලය ආරක්ෂා කරගැනීමට දැන්වත් කටයුතු කළයුතු බව දේවාලය ආසන්නයේ පිහිටි කළුගල්පිටිය සිරිසුමනාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය කරඳගහමඩ සුමනසාර හිමියෝද පවසති. ඌව පළාතේ අභිමානවත් ඉතිහාසය විදහා පාන මෙවන් ස්ථාන විනාශවන තෙක් අදාල අංශ බලා සිටියම කණගාටුවට කරුණක් බවද උන්වහන්සේ අවධාරණය කළහ.