පස්වන දිනටත් ඉරානය ඇවිලෙයි

ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

රට තුළ විරෝධතා මේ වන විට එළඹ ඇත්තේ පස්වන දිනටයි.

නිරිතදිග ඉරානයේ ලෝර්ඩෙගන් නගරයේ විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම් අතරතුර මරණ වාර්තා වුණා.

මියගිය අය විරෝධතාකරුවන් ද ආරක්ෂක නිලධාරීන් ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැහැ.

නිල නොවන වාර්තා සඳහන් කරන්නේ වින්දිතයින් දෙදෙනාම විරෝධතාකරුවන් බවයි.

ඇතැම් විරෝධතාකරුවන් කියා සිටින්නේ ඉරානයේ උත්තරීතර නායකයාගේ පාලනය අවසන් කළ යුතු බවයි.

පොලිස් නිලධාරීන් 13 දෙනෙකු සහ ස්වේච්ඡා හමුදා සාමාජිකයින් කිහිපදෙනෙකු විරෝධතාකරුවන් එල්ල කළ ගල් ප්‍රහාර වලින් තුවාල ලැබූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉරාන රියාල් අගය තියුණු ලෙස පහත වැටීමෙන් පසු ටෙහෙරානයේ විරෝධතා හටගැනුණා.

පසුව එම විරෝධතා අනෙකුත් නගරවෙත පැතිර ගිය අතර, විශ්වවිද්‍යාල සිසුන් ද පෙළපාලිවලට එක්ව සිටිනවා. විරෝධතා ආරම්භ වූ ටෙහෙරානයේ ඇතැම් ප්‍රදේශයන්හි ආරක්ෂාව තර කර ඇති බව සඳහන්.

විරෝධතාකරුවන්ගේ නීත්‍යනුකූල ඉල්ලීම්වලට රජය සවන් දෙන බව ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් කියා සිටිනවා.

කෙසේවූවද අස්ථාවරත්වයක් ඇති කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකදී දැඩි ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඉරානයේ නීතිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.