ඉකුත් වසර තුන හමාරක කාලය තුළ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල රජයන් වෙනස් වීමට හේතු වූ මහජන අරගලයන්හි පිටුපස ඇති ප්‍රධාන හේතුව දුර්වල පාලනය බව, ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දෝවාල් පවසනවා.
ඉකුත් සිකුරාදා ඉන්දීය ජාතික එක්සත් දින සැමරුම නිමිත්තෙන්, රාජ්‍ය පාලනය පිළිබඳව සර්දාර් පටෙල් අනුස්මරණ දේශනය සිදුකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දෝවාල් මෙහිදී අවධාරණය කර සිටියේ ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී සහ ජාතික රාජ්‍යය සුරක්‍ෂිත කිරීමේදී “පාලනය” යන්න වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවයි.
එමගින් එහි අරමුණු සාක්‍ෂාත් කරගැනීමට සහ පොදු ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට හැකිවන බවද ඔහු සඳහන් කළා.
ඉකුත් වසර කිහිපය තුළ ඉන්දියාවේ අසල්වැසි රටවල දුර්වල පාලනයන් හේතුවෙන් සිදු වූ වෙනස්වීම් පිළිබඳව ද ඔහු සිය දේශනයේදී පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ සෙසු රටවල ව්‍යවස්ථා විරෝධී ක්‍රමවේද මගින් පාලන තන්ත්‍ර වෙනස් වීමේ මෑත කාලීන සිදුවීම්, සැබැවින්ම එම රටවල දුර්වල පාලනයෙහි ප්‍රතිඵල බව ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දෝවාල් ප්‍රකාශ කර සිටියා.
මහා අධිරාජ්‍යයන්ගේ, රජවරුන්ගේ පාලකයන්ගේ, වංශාධිපතීන්ගේ හෝ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ නැගීම සහ වැටීම යන්න සැබැවින්ම ඔවුන්ගේ පාලනයේ ඉතිහාසය බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
