සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි.
ප්‍රජාශක්ති වැඩසටහනේ 2026 වර්ෂයේ වත්මන් ප්‍රගතිය, ඊට අදාළ ධාරිතා සංවර්ධන වැඩසටහන් මෙන්ම 2027 වර්ෂයේ ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
විශේෂයෙන්ම, එළැඹෙන වසරේ අයවැය යෝජනා සකස් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ අතර, මේ පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ප්‍රජාශක්ති මෙහෙයුම් කමිටුවේ සාකච්ඡාවක් ලබන 6 වනදා පැවැත්වීමට තීරණය කෙරිණි.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින්, බහුවිධ ප්‍රවේශයක් සහිත සමාජය සවිබල ගැන්වීමේ වැඩසටහනක් ලෙස ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, රජය යටතේ ක්‍රියාත්මක කරන ජාතික මට්ටමේ වැඩසටහන් 03 අතරින් ආර්ථික සංවර්ධනයේ ප්රතිලාභ සමාජයේ සියලුම ජන කොටස් අතර සාධාරණව බෙදී යාම සහතික කිරීමත්, ඉලක්කගත සංවර්ධනයක් ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශ පරිපූර්ණ සංවර්ධනයක් කරා ගෙන යාමත් මෙම වැඩසටහනෙහි අරමුණයි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. එම්. එම්. යූ. බී. හේරත් යන මහත්වරුන්, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු අදාළ ආයතනවල මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
