පාකිස්ථානයෙන් මෙට්‍රික් ටොන් 200ක මානුෂීය ආධාර තොගයක්

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පාකිස්ථාන රජය විසින් පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාර තොගයක් ඊයේ (15) කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී මෙරටට භාර දෙනු ලැබුවා.

මෙම ආධාර නිල වශයෙන් භාර ගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන් සහභාගි වුණා.

පාකිස්ථාන රජය නියෝජනය කරමින් මෙරට පාකිස්ථාන මහ කොමසාරිස්වරයා විසින් අදාළ මානුෂීය ආධාර තොගය නිල වශයෙන් භාර දෙන ලදී.

ශ්‍රී ලංකාවේ වත්මන ආපදා තත්වයෙන් පීඩාවට පත් ප්‍රජාවට සහායවීමේ අරමුණෙන් පාකිස්ථානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙට්‍රික් ටොන් 200කට ආසන්න ප්‍රමාණයක මානුෂීය ආධාර මෙලෙස ශ්‍රී ලංකාවට එවා ඇත.

මෙම ආධාර තොගයෙහි අවතැන් වූ පවුල් සඳහා නවාතැන් සහ සුවපහසුව සැපයීමට අවශ්‍ය කූඩාරම්, බ්ලැන්කට්, ඇඳ ඇතිරිලි ආදියමෙන්ම, ආපදා තත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනම් සහන සැපයීමට සහ මුදාගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය වනජීවිතාරක්ෂක ජැකට්ටු, බෝට්ටු සහ ජලය ඉවත් කිරීමේ පොම්ප ආදියදඇතුළත්වේ.

එසේම එම ජනතාවගේ සෞඛ්‍ය සහ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය ඖෂධ, කිරිපිටි, ඖෂධීය ආහාර, මදුරු දැල් ආදී භාණ්ඩද මෙම භාණ්ඩ තොගයට ඇතුළත්.

මෙම ආපදා අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමඟ සිටිමින්, සහන සැලසීමටත්, රට යළිගොඩනැඟීමේ කටයුතු සඳහා සහාය වීමටත් පකිස්ථානය දක්වන කැපවීම තුළින් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව පිළිබිඹුවේ.

ඉදිරි දිනවලදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අනෙකුත් මානුෂීය ආධාර සපයන ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව, අදාළ බලධාරීන් සහ ආයතනමගින්මෙම ආධාර තොගය පීඩාවට පත් ජනතාවට කඩිනමින් බෙදා හැරීමට නියමිතය.