පාසල් තුළ පවත්වන උත්සව දෙමව්පියන්ට බරක් නොවන විදිහට සංවිධානය කර ගන්නා ලෙසත්, පත්වීම් හෝ ස්ථාන මාරු ලබා දීමේදී ලැබෙන පත්වීම් භාර ගෙන අදාල ස්ථානවල වැඩ භාර ගතයුතු බවත්, 2026 වසරේ වෙන් කළ මුදල් නිසි පරිදි පාසලේ සංවර්ධන කටයුතුවලට යොදා ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල අධ්‍යාපන කොටිඨාසවල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (15) පැවති සාකච්ඡාවල අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය,
2027 වසරේ අපි 6 ශ්‍රේණියටත්, 2 ශ්‍රේණියටත් නව අධ්‍යාපන ප්‍රතිසංසකරණ සිදු කරනවා. මේ වසරේ 6 ශ්‍රේණියේ සිටින දරුවන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළට ඇතුළත් කර ගැනීම සඳහා කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව අනුව අපි ඉදිරියේදී කටයුතු කරනවා.
පාසල් යටිතල පහසුකම්, පන්ති කාමර සංවර්ධනය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල කටයුතු අපි සිදු කරමින් යනවා. පන්ති තුළ ළමුන් ප්‍රමාණය ප්‍රාථමික අංශයේ 25ත් 30ත් අතරත් ද්විතීයික පාසල් තළ ළමුන් 35 දක්වාත් පවත්වා ගන්න අපි සැලසුම් කරාගන යනවා. කිසිම හේතුවක් මත චක්‍රලේඛවලට පිටින් දරුවන් පාසලට ඇතලත් කරන්න බැහැ.
පන්ති කාමර සංවර්ධනය කරද්දි ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට ගැලපෙන පරිදි සකස් කරන්න අවශ්‍ය සැළසුම් ඉංජිනේරු අංශය විසින් සකස් කරමින් තිබෙනවා.
පාසල්වල සමහර ගැටලු පළාත් සභා සහ ප්‍රාදේශිය සභා මට්ටමින් විසඳිය හැකියි. සනීපාරක්ෂක පහසුකම් සකස් කිරීමේ සිට සියළු ප්‍රතිසංස්කරණ ගුණාත්මකව සිදු කරන්න කියලා අපි යෝජනා කර තිබෙනවා. 2025 වසරේත් 2026 වසරේත් අපි පාසල් සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන් කළා. ව්‍යුහ කමිටු හරහා ක්‍රමවත් සැලසුම් සකස් කර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ඇතිව ඉදිරිපත් කරන්න. වෙන් කළ මුදල් නිසි පරිදි පාසලේ සංවර්ධන කටයුතු වලට යොදා ගන්න.
2026 වන විට සෑම පාසලකටම smart board සහ අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. කිසිම හේතුවක් මත ඒ වෙනුවෙන් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන්න එපා. සෑම පාසලකටම වාර්ෂික සැළසුම් තියනවා ඒ සඳහා අනුමත මුදල් ප්‍රමාණයක් තිබෙනවා. ඊට එහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන්න එපා. විශේෂයෙන් පාසල් තුළ පවත්වන උත්සව දෙමව්පියන්ට බරක් නොවන විදිහට සංවිධානය කර ගන්න.
වසර ගණනාවක් පුරා ගුරු විදුහල්පති පුරප්පාඩු පුරවලා නැහැ. ඒ නිසා ගැටලු රාශියක් ඇත් වෙලා තිබෙනවා පැවති නඩු කටයුතුවලින් පසුව දැන් අපි ගුරු සේවයට 23000කට අධික පිරිසක් විධිමත්ව බඳවා ගන්න කටයුතු කරනවා. අප්‍රේල් මාසේ අග හෝ මැයි මාසේ මුල ඒ සඳහා වන විභාග පැවැත්වීමට නියමිතයි.
විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා පුරප්පාඩු ගැසට් කළා. නමුත් ඉල්ලුම් කිරීම් සිදු වුණේ ඉතාමත් සීමිතව, අපි දන්නවා වැටුප් ප්‍රශ්නයක් තියනවා විදුහල්පති සේවයේ වගේම සමස්ත වැටුප් විෂමතාව වෙනුවෙන් වැටුප් කොමිසමට අපි යෝජනා ඉදිරිපත් කරන්න කටයුතු කරමින් යනවා. ඒ වගේම ගුරුපත්වීම් ඉල්ලලා උද්ඝෝෂණ කරන අය පත්වීම් දුන්නම නැත්නම් ස්ථාන මාරු දුන්නම ඒක භාරගන්න සුදානම් නැහැ. අපි දන්නවා පෞද්ගලික ගැටලු තිබෙනවා නමුත් පළමුව තමන්ට ලැබෙන පත්වීම් භාර ගෙන වැඩ භාර ගන්න. දේශපාලන මැදිහත් වීම් මත කැමති ස්ථානයකට යන්න පුලුවන් කියලා මතයක් තියනවා. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්රයේ අර්බුධ නිර්මාණය වෙලා තිබනවා.
සමහර පිරිස් විදුහල්පති සේවයේ පුරප්පාඩු සඳහා ඉල්ලුම් කරන්නේ නැතුව නියෝජ්‍ය විදුහල්පති ලෙස එකම පාසලක ඉන්නවා. එහෙම කරන්න බැහැ. මේක ගෞරවාන්විත සේවාවක්. ඒ වෙනුවෙන් වෘත්තීය ගෞරවය ලබා දෙන්න පාර්ලිමේන්තුවේ අධ්‍යාපන කවුන්සිලය හරහා වාර්තාවක් සකස් කරලා අමාත්‍ය මණ්ඩලයට යොමු කරන්න සූදානම් කර තිබෙනවා.
යටිතල පහසුකම් සංවර්ධනයේදී අපි යෝජනා කරලා තිබෙනවා. ඒ ඒ කොට්ඨාසවල පවතින තත්වයන් පුරෝකථනය කරලා ව්‍යුහ කමිටු හරහා සැලසුම් ඉදිරිපත් කරන්න කියලා.
දරුවන්ගේ ගැටලුවලදි රාජ්‍ය ප්‍රතිපත්ති හෝ තීරණ ලබා දෙන තුරු බලා නොසිටින ලෙසත් කොටිඨාස මට්ටමින් පළාත් මට්ටමින් කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙම අවස්ථාවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, අතුල වෙළඳගොඩ යන මහත්වරුන්, පළාත් හා කළාප අධ්‍යාපන බලධාරීන් විදහල්පතිවරුන් ගුරුවරුන් විශාල පිරිසක් සහභාගී වූහ
