පැය 24ට මරණ 100ක් ?

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉකුත් පැය 24 තුළ පලස්තීනු ජාතිකයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.

ගාසා තීරයේ අවතැන් වූ පිරිස්වලට ආධාර බෙදා දීම් අවහිර කරමින් ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කළා.

එම ප්‍රහාරවලින් 34කට අධික පිරිසක් මිය ගිය බවයි, හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

තවත් 100කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

කොන්දේසි විරහිතව සහ ස්ථිර සටන් විරාමයක් සඳහා වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය ඉදිරිපත් වී තිබෙනවා.

එම යෝජනාවට එක්සත් ජනපදය නිෂේධ බලය යොදා ගත්තා.

එම යෝජනාවට විරුද්ධව ඊයේ ඡන්දය ප්‍රකාශ කළ එකම රට එක්සත් ජනපදය වන අතර, ආරක්‍ෂක කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයන් 14 දෙ‍නා ඊට පක්‍ෂව ඡන්දය ලබා දුන්නා.

ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා ද යෝජනාවෙන් ඉල්ලා සිටි අතර, එය එම යෝජනාවට ඍජුවම සම්බන්ධ නොවන බවයි, වොෂින්ටනය ප්‍රකාශ කරන්නේ.