
පෘතුගාලයේ ලිස්බන් නගරයේ වඩාත් ප්‍රසිද්ධ කේබල අධාරයෙන් ධාවනය වන දුම්රිය රථයක් පීලි පැන අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු මිය ගොස් තවත් 20 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලිස්බන් නගරයේ කාර්යබහුල ඇවනයිඩා ඩා ලිබර්ඩේඩ් ප්‍රදේශය අසලදී මෙම කේබල දුම්රිය රථය පීලි පැනීමකට ලක්වී ඇති බවයි බලධාරීන් පවසන්නේ. බරපතල තත්ත්වයේ පසුවන පස් දෙනෙකු සහ සුළු තුවාල ලැබූ දරුවෙකු ඇතුළුව තවත් දහ අට දෙනෙකු තුවාල ලබා ඇති බව හදිසි සේවා පවසනවා. විදෙස් සංචාරකයින්ගේ මහත් ආකර්ෂණයට ලක්වූ ලිස්බන් නගරයේ ඓතිහාසික කේබල් දුම්රිය රථය පිලිපැනිමෙන් අනතුරුව පෙරළී ගොස් එයට දැඩි ලෙස හානි සිදුවී තිබෙනවා. මෙම ඓතිහාසික කේබල් දුම්රිය රථ පද්ධතිය ලිස්බන් නගරයට පැමිණෙන විදේශ සංචාරකයින්ගේ විශාල ආකර්ෂණයට ලක්වී තිබෙනවා. මිය ගිය අය අතර විදේශිකයන්ද සිටින බව පෘතුගාල රජය තහවුරු කළද, ඔවුන්ගේ අනන්‍යතාව තවම හදුනාගෙන නොමැති බවයි බලධාරීන් පවසන්නේ. පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට සිය ශෝකය පල කර තිබෙනවා. යුරෝපිය නායකයින් රැසක්ද මෙම අනතුර පිළිබඳව සිය ශෝකය පල කර තිබෙනවා. අනතුරට හේතුව තවමත් විමර්ශනය කරමින් පවතිනවා. මූලික පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ කෙල්බල් රථය සම්බන්ධවී තිබෙන කේබලයක් ලිහිල් වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.