අද (13) අළුයම මාරවිල පොලිස් වසමේ පුත්තලම පෑලියගොඩ ප්‍රධාන මාර්ගයේ මාරවිල රෝහල ආසන්නයේ මාරක අනතුරක් සිදුව තිබෙනවා.
රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකු ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කරමින් සිටියදී පුත්තලම දෙස සිට පැමිණි කාර් රථයක් මාර්ගය අයිනේ සිටි නිලධාරීන් දෙදෙනා සහ ත්‍රීරෝද රථ රියදුරු යටකරගෙන ගොස් මීටර් 20ක් පමණ දුරින් පිහිටි විදුලි කණුවක ගැටී නතර වී ඇත.
මෙම අනතුරින් තුවාල ලැබූ තිදෙනා මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇත.
මියගිය පොලිස් කොස්තාපල්වරයා වයස අවුරුදු 42ක්වූ කුලියාපිටිය පොලිස් වසමේ හොරතපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරින් කාර් රථයේ රියදුරු වශයෙන් සිටි වයස අවුරුදු 22ක් වන සැකකාරිය සහ ඇයගේ මව සහ මිත්තණියද සුළු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකාරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන්ට භාර දී ඇත.
මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
