පොලිස් නිලධාරියෙකු මරා දැමීමට තැත් කළ අෙයකුට වසර 15ක සිරදඬුවම්

මීට වසර 17කට පමණ ඉහතදී දෙහිවල නැදිමාල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගී වී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු වාහනයකට යට කර මරා දැමීමට තැත් කළේ යැයි චෝදනා ලබා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන තැනැත්තෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ (02) බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කළා.

නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට මෙවැනි හානිකර ක්‍රියා සිදුකරන පුද්ගලයින් නීතිය ආධිපත්‍යයට බරපතල තර්ජනයක් බවත් ඔවුන්ට අධිකරණයෙන් කිසිදු සමාවක් හිමි නොවන බව සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරිය මෙම තීන්දුව ලබාදුන්නා.

ඊට අමතරව මෙම විත්තිකරුට රුපියල් දස දහසක දඩයක්ද නියම කෙරිණි.

මෙසේ දඬුවම් නියම වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන දෙහිවල ප්‍රදේශයේ පදිංචි සුනිමල් කුමාර නැමැත්තෙකුටය.

2008 වසරේ ජනවාරි මස 17 වනදා දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී මෙම විත්තිකරු මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කාර් රථයෙන් ගමන් කරමින් සිටියදී පොලිසිය විසින් ඔහුට නවතින ලෙස සංඥා කර තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැරයන් වීරසිංහ බණ්ඩාර මහතා වාහනයෙන් යටකර මරා දැමීමට තැත් කිරීම, බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

දීර්ඝ විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරිය විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව සඳහන් කළා.

දඬුවම් නියම කිරීමට පෙර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කලන කොතලාවල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙ රටට මහත් පිළිලයක් බවට පත් වී තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කළ පොලිස් නිලධාරීන්ට මේ ආකාරයෙන් අනතුරු සිදුකිරීම නීතියේ ආධිපත්‍යයට එල්ලවී තිබෙන බරපතල තර්ජනයක් බව සඳහන් කළා.

ඒ අනුව විත්තිකරුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බවයි.

විත්තිකරු සිදුකර තිබෙන ක්‍රියාව සුළුවෙන් තැකිය නොහැකි බවත් ඒ අනුව ඔහුට මෙම දඩුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් සඳහන් කළා.