බදුල්ල ගොඩගන්න මාතරින් ස්වේච්ඡා බළ ඇණියක්

බදුල්ල දිස්ත්‍රික්කය යළි ගොඩනැගීමේ අරමුණින්, මාතර දිස්ත්‍රික්කයෙන් 826 දෙනෙකුගෙන් යුත් දැවැන්ත ස්වේච්ඡා කණ්ඩායමක් අද (01) බදුල්ලට පැමිණ තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ ආපදා තත්ත්වයෙන් පසුව මෙම අතිශය ශක්තිමත් සහෝදරත්වයේ දායකත්වය ලැබීම විශේෂත්වයක්.

​හානියට පත් ප්‍රදේශ යළි නගා සිටුවීමේ අරමුණින් පැමිණි මෙම පිරිස, ඉදිරි දින 5ක් පුරා බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ ප්‍රධාන ප්‍රදේශ රැසක ස්වේච්ඡා ශ්‍රම දායකත්වය ලබා දීමට නියමිතයි.

බදුල්ල, ලුණුගල, පස්සර, සොරනාතොට, කන්දකැටිය, මීගහකිවුල, වැලිමඩ, ඌව පරණගම, ​හාලි ඇල

​යන ප්‍රදේශවල මෙම ස්වේච්ඡා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම මෙහෙයුම සඳහා පැමිණි මාතර කණ්ඩායම, තම ශ්‍රමය පමණක් නොව, බැකෝ යන්ත්‍ර, එස්කැවේටර්, චේන් සෝ සහ ජල බවුසර් වැනි අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍රද රැගෙන විත් තිබීම සහන කටයුතු කඩිනම් කිරීමට ඉවහල් වනු ඇත.

​මීට අමතරව, ස්වේච්ඡා සේවාවේ නිරත වන පිරිස්වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින්, ඔවුන්ට මී උණ සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දී අවශ්‍ය වැඩ සැලසුම් අනුව උපකරණ සමග එම ප්‍රදේශ වෙත පිටත් කර හැරීමට බලධාරීන් කටයුතු කර ඇත.

​මාතරින් පැමිණි මෙම දැවැන්ත සහන පිරිස, අසීරු අවස්ථාවක බදුල්ලට ලබා දෙන විශාලතම සහයෝගය ලෙස සැලකෙන අතර, ඔවුන්ගේ මෙම කැපවීම සම්බන්ධයෙන් බදුල්ලේ ජනතාව සිය කෘතඥතාව පළ කරනවා.