“බ්ලූ සහ මාටින්”ගෙන් ලෝකයටම ආදර්ශයක්

සාගරයේ ඇති ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය එකතු කිරීමට සහය වන ඩොල්ෆින් මසුන් දෙදෙනෙකු පිළිබඳ විශ්මයජනක පුවතක් කොළොම්බියාවෙන් වාර්තා වනවා.

“බ්ලූ සහ මාටින්” නැමැති ඩොල්ෆින් මසුන් දෙදෙනා කොළොම්බියාවේ, “සැන්ටා මාටා” වෙරළබඩ නගරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මුහුදු ජලයේ පාවෙමින් පවතින ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය එකතු කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

“එල් – රොඩඩෙරෝ” සමුද්‍ර ජීව මධ්‍යස්ථානයෙහි පුහුණුකරුවන් කියා සිටියේ, නිලධාරින් කණ්ඩායම් සාගරයේ පවතින අපද්‍රව්‍ය ඉවත් කරන ආකාරය දැකීමෙන් මෙම ඩොල්ෆින් මත්ස්‍යයන් ද එය අනුකරණය කරන බවයි.

ඒ අනුව සාගරයේ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය එකතු කරන එම මත්ස්‍යයන් ඒවා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යෙදී සිටින නිලධාරින් කණ්ඩායම්ට ගෙන ගොස් දෙන බව සඳහන්.

මෙවැනි ක්‍රියා මගින් සමුද්‍ර ජීවින්ගේ බුද්ධිමත් බව මනාව අවබෝධ කර ගත හැකි බවයි “එල් – රොඩඩෙරෝ” සමුද්‍ර ජීව මධ්‍යස්ථානයෙහි පුහුණුකරුවන් පෙන්වා දෙන්නේ.