මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කෙරේ

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක මහතා විසින්.

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙරට මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහායි මෙම හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන්නේ.

මේ අතර ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමූපාකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන සේවාවන් ද අත්‍යවශ්‍ය සේවා බවට පත් වනවා.

මේ අනුව විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළු ඉන්ධන බෙදාහැරීම්, සෞඛ්‍ය සේවාවට අදාළ සියලු සේවාවන්, පොදු ගමනාගමන සේවා ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබූ ගැසට් නිවේදනයයි යළි දීර්ඝ කෙරෙන්නේ.