මාරක අනතුරු පෙළක්

එරාවූර්, මඩකලපුව ත්‍රීකුණාමලය මාර්ගයේ මුහන්දිරම් පාර හන්දිය ආසන්නයේදී ඊයේ (25) දින උදෑසන මඩකලපුව දෙසට ධාවනය වූ ලොරි රථයක් පා පැදියක් තල්ලු කරමින් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයා එරාවූර් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකරු අවුරුදු 83 ක් වූ එරාවූර් 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර එරාවූර් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර ඊයේ (25) දින දහවල් උහන, අම්පාර මහනුවර මාර්ගයේ සමනබැද්ද ප්‍රදේශයේදී පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු ප්‍රථිකාර සඳහා අම්පාර රෝහලට ඇතුලත් කර සිටියදී මියගොස් තිබෙනවා.

මරණකරු අවුරුදු 22 ක් වූ පොල්වගා ජනපදය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. උහන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මහනුවර යාපනය A9 මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් ඊයේ (25) දින දහවල් මැදවච්චිය නගරයේදී මාර්ගය හරහා ගමන් ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව මැදවච්චිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

බස් රථයේ රියැදුරු හා රිය සහායක අනතුරින් පසු බස් රථය දමා පලා ගොස් ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මැදවච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර මුලතිව් පරන්තන් A35 මාර්ගයේ විශ්වමඩු ප්‍රදේශයේදී ඊයේ (25) දින දහවල් මුලතිව් දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදික මාරුවෙන් ගමන් ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව හා යතුරුපැදිකරු ධර්මපුරම් රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදික කාන්තාව මියගොස් ඇත.

මරණකාරිය අවුරුදු 53 ක් වූ චුණ්ඩිකුලම් හන්දිය, විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකාරියකි.  

පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.