මැදපෙරදිග යුද්ධය රටවල් 9ක් පුරා ව්‍යාප්ත වෙයි

අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එක්ව පසුගිය පෙබරවාරි 28 වනදා සිට ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර හමුවේ මේ වන විට පුද්ගලයින් 1,937 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මියගිය පිරිස අතර කාන්තාවන් 240 දෙනෙකු සහ දරුවන් 212 දෙනෙකු සිටින බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරනවා.

ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 24,800 ඉක්මවා පවතින බවත් ඉන් බොහෝ පිරිසකගේ තත්ත්වය බරපතල බවත් සඳහන් වනවා.

ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර හමුවේ ඊශ්‍රායල ජාතිකයින් 24 දෙනෙකු මියගොස් තවත් 6,000කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම කලාපය පුරා විසිරී සිටින අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකානු මධ්‍යම අණසක මූලස්ථානය තහවුරු කරනවා.

බහරේනය, ඉරාකය, කුවේටය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලටද ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වී ඇති අතර එම රටවලින් ද මරණ 27 ක් වාර්තා වනවා.

මේ වන විට මැදපෙරදිග කලාපයේ රටවල් නවයක් පුරා මෙම යුදමය වාතාවරණය ව්‍යාප්ත වී පවතින බවයි වාර්තා වන්නේ.