මැදපෙරදිග යුද ගිනි දැඩි වෙයි

ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල හමුදා එල්ල කරන ගොඩබිම් ප්‍රහාර තවදුරටත් දැඩි වී තිබෙනවා.

මේ අතර ඉරානයේ සිවිල් මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරවලින් ගෝලීය ආර්ථිකයට මෙන්ම තෙල් මිලටද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා.

ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශ ආක්‍රමණය කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය සිය මෙහෙයුම් පුළුල් කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.

මීට ප්‍රතිචාර දක්වමින් හිස්බුල්ලා සංවිධානය පවසා ඇත්තේ ඛියාම් නගරය අවට ප්‍රදේශවලදී තමන් ඊශ්‍රායල හමුදා සමඟ දැඩි සටනක නිරත වන බවයි.

එහිදී ඊශ්‍රායල ටැංකි නාශක ප්‍රහාර එල්ල කිරීමටත් තමන් කටයුතු කළ බව එම සංවිධානය වැඩිදුරටත් කියා සිටියා.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර උතුරු දිග ප්‍රදේශයට ද ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති අතර ඉන් සිවිල් ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිවිටකත් ආක්‍රමණිකයන් හමුවේ පරාජය නොවන බවයි.