මූත්‍ර-වකුගඩු ගල් ඇති වීමට හේතුවක්

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ අතර මූත්‍ර ආසාදන, වකුගඩු ආබාධ, මූත්‍රාශයේ ගල්, පිරිමින්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වන ගැටලු ප්‍රධානය. මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇති වන ඉහත ගැටලු සහ ඒවාට ඇති ප්‍රතිකාර සම්බන්ධයෙන්, මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නෙවිල් ඩී. පෙරේරා මහතාගෙන් අපි විමසා සිටියෙමු.

වකුගඩුවල ඇති වන ගල් සහ මූත්‍රාශයේ ඇති වන ගල් වර්තමානයේ බෙහෙවින් දක්නට ලැබෙන රෝගි තත්ත්වයකි. ඒවා නිර්මාණය වන්නේ එම ඉන්ද්‍රියන් තුළමය. එම ගල් නිර්මාණය වීමට හේතු වන්නේ කැල්සියම් ඔක්සලේට් නම් රසායනිකයයි. ඊට අමතරව, කැල්සියම් කාබනේට් සහ යූරික් ඇසිඩ් නිසාද වකුගඩුවල සහ මූත්‍රාශයේ ගල් ඇති වේ. කැල්සියම් ඔක්සලේට් නිසා ගල් ඇති වීමට හේතු කීපයක්ම බලපාන බව පැහැදිලිය. කැල්සියම් ඔක්සලේට් මූත්‍රාවල තිබීම සාමාන්‍ය තත්ත්වයකි. අප දිනපතා පානය කරන ජලය ප්‍රමාණය අඩු වුව හොත් ඒ කැල්සියම් ඔක්සලේට් ස්ඵටික ලෙස වකුගඩුවල තැන්පත් වේ. හොඳින් මූත්‍ර පිට නොවීමට මූත්‍රාශයේ සහ වකුගඩුවල ගල් ඇති වීමට එය ප්‍රධාන හේතුවකි. මූත්‍ර පිට කරන විට කැල්සියම් ඔක්සලේට් ස්ඵටික ශරීරයෙන් පිට වන්නේ නම් මූත්‍රාශය සහ වකුගඩු තුළ ගල් ඇති නොවේ. වකුගඩු තුළ සියුම් නාල අවහිර වීම හෝ වෙනත් හේතුවක් නිසා කැල්සියම් ඔක්සලේට් වකුගඩු තුළ තැන්පත් වුව හොත් ඒවා ක්‍රමයෙන් වර්ධනය වී, තරමක විශාල ප්‍රමාණයේ ගල් ඇති වේ.

වකුගඩුවල සහ මූත්‍රාශයේ ගල් ඇති වීම විශේෂයෙන් සොයා බලා ප්‍රතිකාර ලබා ගත යුතු රෝගි තත්ත්වයකි. ඒ, එලෙස එම ඉන්ද්‍රියයන්වල ගල් ඇති වීම වකුගඩු අකර්මණ්‍ය වීමට බලපාන ප්‍රධානතම හේතුවක් වන නිසාය.

වකුගඩු තුළ නිර්මාණය වූ ගලක් වකුගඩුවේ සිට මූත්‍රාවාහිනී ඔස්සේ පිටතට පැමිණෙන විට අධික වේදනාවක් ඇති වේ. ඇතැමුන් පවසන්නේ මෙහිදී ඇති වන වේදනාව දෙවැනි වන්නේ කාන්තාවකට දරු ප්‍රසූතියේදී ඇති වන වේදනාවට පමණක් බවයි. එහිදී ඇති වන වේදනාව ශරීරයේ ඉඟටිය ප්‍රදේශයෙන් ආරම්භ වී ගල ගමන් කිරීමත් සමඟම මූත්‍රාශය දෙසට ගමන් කරයි. එවැනි අවස්ථාවක මූත්‍ර සහ රුධිරය පිට වීමක්ද සිදු විය හැකිය. එයට හේතු වන්නේ ගල මූත්‍ර මාර්ගය දිගේ පහළට ඒමේදී එහි බිත්ති සීරීමට ලක් වීමය. ඇතැම් විටක වකුගඩු දෙකෙහිම ගල් නිර්මාණය වී තිබුණ හොත් වකුගඩුවල නාල දෙකම අවහිර වී, හදිසි වකුගඩු අකර්මණ්‍යතාවක් ඇති විය හැකිය. වකුගඩුවලින් මූත්‍රාශයට එන නාලවල දීර්ඝ කාලයක් තිස්සේ ගලක් සිර වී තිබීම වකුගඩු අකර්මණ්‍ය වීමට හේතුවකි. මූත්‍රාශයේ සහ වකුගඩුවල ගල් ඇත් නම්, නිතර නිතර ගල් නිර්මාණය වන්නේ නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය.

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත බොහෝ රෝගවලින් මිදීමට අවශ්‍ය පමණ ජලය පානය කිරීම ඉතා වැදගත්ය. වැඩිහිටි පුද්ගලයකු දිනකට ලීටර් 2 – 2 1/2 පමණ ජලය ප්‍රමාණයක් පානය කළ යුතුය. ජලය පානය කිරීම පිළිබඳවද විවිධ මත පවතී. ඇතැම්හු දිනකට ජලය ලීටර් 4 – 5 පමණ ප්‍රමාණක් පානය කිරීමට පෙලඹී සිටිති. එය නුසුදුසුය. නවතම පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ දිනකට ජලය ලීටර් 3කට වැඩියෙන් දීර්ඝ කාලයක් තිස්සේ පානය කිරීම වකුගඩු සහ මූත්‍රාශය ආශ්‍රිතව ගල් නිර්මාණය වීමට හේතුවක් වන බවයි. සාමාන්‍යයෙන් මූත්‍රවල මූත්‍රගල් නිපදවීම වැළැක්වීමේ හැකියාව ඇති රසායනිකයක් ඇත. දිනපතා අවශ්‍ය පමණට වඩා ජලය පානය කළ විට එම රසායනිකය තනුක වේ. මූත්‍රාශය ආශ්‍රිතව ගල් නිර්මාණය වීමට හේතුවකි. එනිසා වැඩිහිටි පුද්ගලයකු දිනපතා ජලය ලීටර් 3කට වැඩියෙන් පානය කිරීම සුදුසු නැත. දරුවකු නම් දිනකට ජලය ලීටර් 1 – 1/2 අතර ප්‍රමාණයක් පානය කිරීම ප්‍රමාණවත්ය.

මූත්‍රාශයේ ඇති වන ගල් ඉවත් කිරීමට ගිලින ඖෂධ භාවිත වේ. මෙහිදී සිදු වන්නේ මූත්‍ර නාල විශාල කොට ගල ශරීරයෙන් පිටතට ඒමට සැලැස්වීමය. එසේ නැතිව මූත්‍රගල් දියකරහැරීමට ඖෂධ නැත. මූත්‍රගල් එසේ ඉවත් කළද, වකුගඩු තුළ නිර්මාණය වී ඇති ගල් එසේ ඉවත් කළ නොහැකිය. අතීතයේදී ඒ සඳහා කැපුම් යොදා ශල්‍යකර්ම සිදු කළද වර්තමානයේදී අතිනවීන ඉතා සියුම් ලේසර් තාක්ෂණික උපකරණ මූත්‍ර මාර්ගය දිගේ වකුගඩු වෙත යවා, වකුගඩුවල ඇති ගල් කුඩු කර, ඒවා ඉවත් කළ හැකිය.

මූත්‍ර දැවිල්ල

බොහෝ දෙනකු මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව මුහුණ දෙන ප්‍රධානතම රෝගි තත්ත්වයක් ලෙස මූත්‍ර දැවිල්ල හැඳින්විය හැකිය. මෙය ඉතා අසහනකාරි සහ වේදනාකාරි රෝගි තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. මූත්‍ර දැවිල්ල ඇති වීමට හේතු කීපයක්ම බලපාන බව පෙනී යයි. ඉන් ප්‍රධානතම හේතුව වන්නේ මූත්‍ර මාර්ගයේ ඇති වන ආසාදනයන්ය. එවැනි ආසාදනයන් ඇති වූ විට මූත්‍රා පිට වන වාරයක් පාසා තුවාලයක් පෑරෙන්නාක් මෙන් මේ ආසාදන තත්ත්වය උත්සන්න වේ.

මෞත්‍ර ලිංගික පද්ධ­තියආශ්‍රිත රෝග පිළි­බඳ 
විශේ­ෂඥ වෛද්‍ය මහා­චාර්ය
නෙවිල් ඩී. පෙරේරා

මෞත්‍ර ලිංගික පද්ධ­තිය
ආශ්‍රිත රෝග පිළි­බඳ
විශේ­ෂඥ වෛද්‍ය මහා­චාර්ය
නෙවිල් ඩී. පෙරේරා

ඊට අමතරව, වැඩිහිටි පුද්ගලයන්ගේ සහ විශේෂයෙන්ම කාන්තාවන්ගේ මූත්‍ර දැවිල්ල ඇති වීමට බලපෑ හැකි තවත් හේතුවක් වන්නේ මූත්‍රවල ආම්ලික ස්වභාවය වැඩි වීමය. මෙවැනි අවස්ථාවකදී මූත්‍ර මාර්ගයේ කිසිදු ආබාධයක් නැති වුවද අධික මූත්‍ර දැවිල්ලක් ඇති වීමේ හැකියාව ඇත. නිතර නිතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින මූත්‍ර දැවිල්ල පරීක්ෂාවට ලක් කළ යුතු තත්ත්වයකි. මෙහිදී පළමුව මූත්‍ර මාර්ගයේ කිසියම් අවහිරතාවක් ඇතිදැයි සොයා බැලිය යුතුය. එවැනි අවහිරතාවක් නැති නම් මූත්‍රවල ආම්ලික ස්වභාවය අඩු කිරීමට ඖෂධ දෙනු ලැබේ. පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන් හට මූත්‍ර ආසාදන සහ මූත්‍ර දැවිල්ල ඇති වීමේ හැකියාව ඉහළය. එයට හේතුව වන්නේ කාන්තාවන්ගේ මූත්‍ර මාර්ගය කෙටි වීමය. එවිට කිසියම් විෂ බීජයකට මූත්‍ර මාර්ගය දිගේ මූත්‍රාශය දෙසට ගමන් කිරීමේ හැකියාව ඇත. අලුත විවාහ වූ තරුණ කාන්තාවන්ටද මූත්‍ර ආසාදන ඇති වීමේ හැකියාව පවතී. එය සාමාන්‍ය තත්ත්වයකි.

මූත්‍ර සමඟ රුධිරය පිට වීම දැඩිව අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. වයස අවුරුදු 45 ඉක්මවූ අයකු වෙතින් මූත්‍ර සමඟ රුධිරය පිට වේ නම් මූත්‍ර මාර්ගය ආශ්‍රිතව පිළිකාවක් නැතැයි තහවුරු වන තෙක් අවශ්‍ය පරීක්ෂණ සිදු කළ යුතුය. වේදනාවක් ඇතිව හෝ නැතිව මූත්‍ර සමඟ රුධිරය පිට වීම වෛද්‍ය උපදෙස් පැතීමට හේතුවකි.

මූත්‍ර පහ කිරීමේ අවශ්‍යතාව ඇති වූ විට හැකි ඉන්මනින් මූත්‍ර පිට කිරීම, මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝගවලින් මිදීමට ඇති ඉතා වැදගත් ක්‍රියාමාර්ගයකි. බොහෝ වේලාවක් මූත්‍ර පිට නොකොට මූත්‍ර තද කරගෙන සිටීම රෝග ගණනාවකට අත වැනීමකි. මූත්‍ර සිර කරගෙන සිටින විට මූත්‍රාශයේ පේශි ඇදීමක් සිදු වී එම පේශි දුර්වල වේ. පසුකාලීනව මූත්‍ර කිරීමේ අපහසුතා ඇති වීමට එය ප්‍රබල හේතුවකි. විවිධ හේතු නිසා කාන්තාවන් පැය ගණන් මූත්‍ර පිට නොකොට මූත්‍ර සිර කරගෙන සිටින අවස්ථා ඇත. කාන්තාවන් අතර මූත්‍ර ආසාදන වැඩි වීමට එය ප්‍රධාන හේතුවකි. එබැවින් අඩුම තරමින් පැය 4කට හෝ 5කට වරක් මූත්‍ර පිට කිරීම ඉතා වැදගත්ය.

පුරස්ථි ග්‍රන්ථියේ ගැටලු

පුරුෂයින්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වන ආබාධ පිරිමින්ගේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇති වන ආබාධ අතර ප්‍රධාන තැනක් ගනී. පුරස්ථි ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන්නේ ශුක්‍රාණු නිපදවන ග්‍රන්ථියයි. මේ ග්‍රන්ථිය මූත්‍රාශයට පහළින් පිහිටා ඇත. මූත්‍ර ගමන් කරන මූත්‍ර නාලය පිහිටා ඇත්තේ මේ පුරස්ථි ග්‍රන්ථිය මැදය. කිසිදු හේතුවක් නැතිව වුවද වයස අවුරුදු 45, 50 ඉක්මවූ පුරුෂයන්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව පටක වැඩී, එය ඉදිමීමට පටන් ගනී. මූත්‍ර ගමන් කරන මාර්ගය මේ පුරස්ථ ග්‍රන්ථිය මැදින් වැටී ඇති නිසා පුරස්ථ ග්‍රන්ථියේ පටක ඉදිමීම මූත්‍ර මාර්ගය අවහිර වී මූත්‍ර කිරීම අපහසු වීමට හේතුවකි. මෙහිදී මතු වන රෝග ලක්ෂණ කීපයක්ම දැකිය හැකිය. මූත්‍ර සෙමෙන් පිට වීම, කඩින් කඩ පිට වීම, බින්දු ලෙස පිට වීම, දිනකට දහ දොළොස් වරකට වඩා පහ වීම, මූත්‍ර පහර ඉදිරියට විදීමේ ඇති අපහසුව යන රෝග ලක්ෂණ මෙහිදී මතු වේ. ඉතා සුළු පිරිසකට පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වන පිළිකාවක් නිසාද ඉහත රෝග ලක්ෂණ මතු විය හැකිය.

රාත්‍රී කාලයේදී කීප වරක්ම මූත්‍ර කිරීමට සිදු වීම ඇතැමුන් මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටලුවකි. රාත්‍රියේදී එක් වරක් මූත්‍ර පිට කිරීමට සිදු වීම රෝගයක් හෝ රෝග ලක්ෂණයක් හෝ නොවේ. එහෙත් රාත්‍රිය පුරා කීප වරක් වරින් වර මූත්‍ර කිරීමට සිදු වීම රෝග ලක්ෂණයකි. යමකු රාත්‍රී නින්දට පෙර, මූත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් කොට නින්දට යෑම මේ ගැටලුවට එක් පිළියමකි. එහෙත් රාත්‍රිය පුරා කීප වරක් මූත්‍ර පිට කිරීමට සිදු වීම පුරස්ථි ග්‍රන්ථියේ ආබාධයක් නිසා සිදු වන්නක් විය හැකිය. පුරස්ථි ග්‍රන්ථියේ ආබාධ ඇති පුද්ගලයින්ට මූත්‍රාශය හිස් කිරීමේ හැකියාව දුර්වල වීම එයට හේතුවයි.

නීරෝගි පුද්ගලයකුගේ ශරීරයේ රාත්‍රියේදී මූත්‍ර නිපදවෙන්නේ ඉතා අඩුවෙනි. එහෙත් දියවැඩියාව, හෘදයරෝග වැනි ආබාධවලින් පෙළෙන්නන් තුළ රාත්‍රියේදී අධික ලෙස මූත්‍ර නිපදවේ. ඔවුන්ට රාත්‍රියේදී කීප වරක් මූත්‍ර පහ කිරීමට සිදු වේ. එයට හේතු වන්නේ දියවැඩියාව සහ හෘදය රෝගවලින් පෙළෙන රෝගීන්ට දෙන ගිලින ඖෂධ මූත්‍ර නිපදවීමේ ගුණයෙන් යුක්ත වීමය.

හාල්මැස්සන් නිතර නිතර ආහාරයට ගැනීම, හාල්මැස්සන් තක්කාලි යොදා ව්‍යංජනයක් ලෙස පිස ආහාරයට ගැනීම වකුගඩු සහ මූත්‍රගල් ඇති වීමට හේතු වන බව ඇතැමුන්ගේ විශ්වාසයයි. එය මිථ්‍යා විශ්වාසයකි. කැල්සියම් ශරීරයට වැඩිපුර ගැනීම සුදුසු නොවන විශේෂිත රෝගාබාධ කීපයක් ඇත. එම විශේෂ තත්ත්වයන් නැති නම්, හාල්මැස්සන් නිතර ආහාරයට ගැනීමෙන් කිසිදු ගැටලුවක් මතු නොවේ. වකුගඩු හා මූත්‍රාශය ආශ්‍රිත ගල් නිතර ඇති වන පුද්ගලයන් කැල්සියම් අඩංගු ආහාර ගැනීම අඩු කළ විට එම ගල් ඇති වීමේ ප්‍රවණතාව වැඩි වන බව දැන් හෙළි වී ඇත. කැල්සියම් නීරෝගි ක්‍රියාශීලි ජීවිතයකට අවශ්‍යම සංඝටකයකි. ශ්‍රී ලංකාව වැනි රටවල ශරීරයට කැල්සියම් ලබාගත හැකි පහසුම සහ ලාභදායිම මාර්ගය වන්නේ හාල්මැස්සන් ආහාරයට ගැනීමය. එසේම තක්කාලි යොදා හාල්මැස්සන් ව්‍යංජනය සකසාගැනීමේ කිසිදු ගැටලුවක් නැත.