‍‍යුක්‍රේනය සමඟ සාම සාකච්ඡා රුසියාව ප්‍රතික්ෂේප කරයි

‍‍යුක්‍රේන – රුසියානු යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා රුසියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම සාකච්ඡා හංගේරියාවේ බුඩාපෙස්ට් හිදී පැවැත්වීමට නියමිත වූයේ, මීට සතියකට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර පැවති දීර්ඝ දුරකථන සංවාදයකින් අනතුරුවයි.

රුසියාව මෙම සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම යුද්ධය අවසන් කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග කෙරෙහි දැඩි ලෙස බලපාන බව, ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා.

ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ඉදිරි කාලය තුළ ට්‍රම්ප් සහ පුටින් නායක හමුවක කිසිඳු සැලැස්මක් නොමැති බවයි.

ට්‍රම්ප් සහ පුටින් නායක දෙපල අවසන් වරට ඉකුත් අගෝස්තු මාසයේ දී ඇලෙස්කාවේ දී මුණගැසී තිබෙනවා.

ඒ, රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් යම් සාකච්ඡාමය ක්‍රියා මාර්ග රැසක් ගැනීම සඳහා යි.

එහෙත්, එය සාර්ථක නොවූ බවයි, මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

හංගේරියාවේ දි පැවැත්වීමට නියමිතව තිබූ නායක දෙපලගේ හමුවට පෙර හමුවක්, අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් අතර මෙම සතිය තුළ සැලසුම් කර තිබුණා.

එය තවදුරටත් අවශ්‍ය නොවන බව, ධවල මන්දිරය පවසනවා.