යුක්‍රේන සහ අමෙරිකානු ජාතිකයින් 7ක් ඉන්දීය අත්අඩංගුවට

ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්ත ආයතනය හෙවත් NIA ආයතනය මගින් ත්‍රස්තවාදී ක්‍රියාවලට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත යුක්‍රේන ජාතිකයින් හය දෙනෙකු සහ අමෙරිකානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්කටා ගුවන් තොටුපළේදී සහ නවදිල්ලිය ඇතුළු නගර කිහිපයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මියන්මාරයේ සන්නද්ධ කල්ලි වෙත ඩ්‍රෝන යානා සැපයීමේ ජාවාරමකට සම්බන්ධ බවටයි බලධාරීන් සැක පළ කරන්නේ.

ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේ අත්අඩංගුවට ගත් පිරිස යුරෝපයේ සිට මියන්මාරය වෙත ඉන්දියාව හරහා විශාල වශයෙන් ඩ්‍රෝන යානා ආනයනය කිරීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ වී ඇති බවයි.

මෙම උපකරණ මියන්මාරයේ කැරලි කෝලහාලවල නිරත වන සන්නද්ධ ජනවාර්ගික කණ්ඩායම් වෙත ලබා දීමට සැලසුම් කර තිබූ බවට විමර්ශන නිලධාරීන් චෝදනා කරනවා.

අදාළ පිරිස නීත්‍යානුකූල වීසා බලපත්‍ර යටතේ ඉන්දියාවට ඇතුළු වී පසුව අවශ්‍ය අවසරයකින් තොරව මිසෝරාම් ප්‍රාන්තයේ සංචාරය කර ඇති බවද වාර්තා වනවා.

මීට අමතරව ඔවුන් අවසරයකින් තොරව ඉන්දීය-මියන්මාර දේශසීමාව තරණය කර ඇති අතර, එහි ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් වෙත ඩ්‍රෝන මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලබා දී ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන යුක්‍රේන විදේශ අමාත්‍යාංශය පවසන්නේ තම පුරවැසියන් කිසිදු නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ වී ඇති බවට තහවුරු වූ කරුණු මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවයි.

දිල්ලියේ සිටින යුක්‍රේන තානාපතිවරයා මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයට සිය විරෝධය පළ කර ඇති අතර අත්අඩංගුවට ගත් තම පුරවැසියන් වහාම නිදහස් කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

යුක්‍රේන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ රඳවා සිටින පුද්ගලයින් හමුවීමට තමන්ට වහාම අවස්ථාව ලබා දිය යුතු බවයි.