රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතයට මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වේ

රජයේ රෝහල්වල ඔක්සිජන් (OXYGEN) භාවිතා කිරීම සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය NH COLLECTION හෝටලයේ දී පැවැත්විණි.

මෙම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීමට සමගාමීව රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතා කිරීම සම්බන්ධව පුහුණු වැඩසටහන් මාලාවක්ද ආරම්භ කෙරිණි.

ඊට අදාළව කටයුතුකරන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් සියයක කණ්ඩායමක් පුහුණුකර ඔවුන් හරහා දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් ඊට අදාළව රජයේ රෝහල්වල කටයුතුකරන සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙරට රජයේ රෝහල්වල ප්‍රතිකාර සේවාවන්හිදී ඔක්සිජන් භාවිතාකිරීම සදහා වැදගත්වන සියළුම කරුණු සංයුක්ත කොට මෙම මාර්ගෝපදේශ සකස් කර ඇත.

මෙම මාර්ගෝපදේශය එළිදැක්වීමෙන් ඔක්සිජන් භාවිත රෝගී සත්කාර සේවාවන් සංවිධානය කිරීම සහ කළමණාකරණය කිරීමේ වගකීම දරණ වෛද්‍ය පරිපාළකයන් සහ ප්‍රතිකාර විෂයෙහි වගකීම දරණ වෛද්‍ය විශේෂඥයන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් අතර තාක්ෂණිකමය අවබෝධය ඉහළ නංවාලීමට මෙම ජාතික මාර්ගෝපදේශ මාලාව බෙහෙවින් උපකාරී වේ.

යුනිසෙෆ් සංවිධානයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් කරනලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වන ලද මෙම ජාතික මාර්ගෝපදේශ මාලාව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රධාන එම අංශය මගින් සම්පාදනය කර ඇත.

මෙහි දී අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මාර්ගෝපදේශ මාලාව පිළිගන්වන ලදී.

ඉන්පසු අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාට මෙන්ම වෛද්‍ය සහ රෝහල් පරිපාලකයන්, පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇතුළු විද්වතුන්ට එම මාර්ගෝපදේශයන් බෙදා දීමට කටයුතුකරන ලදී.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතා කිරීම සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීම සහ රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතා කිරීම සම්බන්ධව පුහුණු වැඩසටහන් මාලාවක්ද ආරම්භ කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් බව සදහන්කර සිටියේය.

රජයේ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍යවන ඔක්සිජන් භාවිතයට රජය වාර්ෂිකව විශාල මුදලක් වැයකරන බවද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.

මෙවැනි මාර්ගෝපදේශ එළිදැක්විමෙන් සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් විධිමත්. ප්‍රශස්ත රෝගී සත්කාර සේවාවක් ලබා දීමට හැකියාව ලැබෙන බවත්, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීමය දැනුම ඉහල නැංවීමටද බෙහෙවින් ඉවහල්වන බව ද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්විමෙන් යුනිසෙෆ් සංවිධානයේ සහයෝගීතාවයෙන් තිස්සමහාරාම මුලික රෝහල, අවිස්සාවෙල්ල දිස්ත්‍රික් මහ රෝහල, උඩුගම මුලික රෝහල සහ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල්වල ඔක්සිජන් උත්පාදක ඒකක මේ වන විට පිහිටුවා ඇති බවත්, එමගින් එම රෝහල්වල අවශ්‍යතාවය සපුරා ගැනීමට මෙන්ම අතිරික්ත ඔක්සිජන් දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල්වල අවශ්‍යතාවයද සපුරා ගැනීමට එමගින් හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගම් (Ms Emma Brigham), එම සංවිධානයේ සෞඛ්‍ය හා පෝෂණ කළමණාකරු වෛද්‍ය අබ්නර් ඩැනියෙල් (Dr Abner Daniel) යන මහත්ම මහත්මීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේක්ම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, අධ්‍යක්ෂවරුන්, මෙන්ම රෝහල් අධ්‍යක්ෂවරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, වෛද්‍ය විද්‍යායතන නියෝජිතයන්, විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.