රටවල් 40කට අමෙරිකාවට ඇතුල්වීම තහනම්

ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි අමෙරිකාව, රටවල් 40කට ආසන්න සංඛ්‍යාවකට එරටට ඇතුල්වීමේ සීමාවන් දැඩි කර තිබෙනවා.

එම ප්‍රකාශනයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ අත්සන් කළා.

මෙම නව ප්‍රතිපත්තිය යටතේ, සමහර රටවල් සඳහා අමෙරිකාවට ඇතුළත්වීම මුළුමනින්ම තහනම් වනවා. තවත් රටවල් සඳහා අර්ධ සීමා පැනවෙනවා.

ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජන ඇති කරන රටවල් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සහ තොරතුරු හුවමාරුව ප්‍රමාණවත් නොවන බවයි ධවල මන්දිරය පෙන්වා දෙන්නේ.

පසුගිය ජුනි මාසයේදී, රටවල් 12ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම මුළුමනින්ම තහනම් කර තිබුණා.

ඇෆ්ගනිස්ථානය, ඉරානය, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල් ඊට ඇතුළත්. එමෙන්ම, බුරුන්ඩි, කියුබාව, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව ඇතුළු රටවල් කිහිපයකට අර්ධ ඇතුල්වීමේ සීමා පනවා තිබුණා.

නවතම ප්‍රකාශය මඟින් බුර්කිනා ෆාසෝ, මාලි, නයිජර්, දකුණු සුඩානය සහ සිරියාව සඳහා පූර්ණ තහනමක් පනවා තිබෙනවා.

පලස්තීන අධිකාරිය නිකුත් කරන සංචාරක ලියකියවිලි ඇති පුද්ගලයන්ටද අමෙරිකාවට ඇතුළුවීම මුළුමනින්ම තහනම් වනවා.

ඊට අමතරව, කලින් අර්ධ සීමාවන්ට යටත් වූ ලාඕසය සහ සියරා ලියොන් සඳහා දැන් පූර්ණ තහනමක් පනවා තිබෙනවා.

මෙම නව ප්‍රතිපත්තිය යටතේ, පූර්ණ ඇතුල්වීමේ තහනමක් පනවා ඇති රටවල් සංඛ්‍යාව 12 සිට ආසන්න වශයෙන් 20 දක්වා වැඩි වී තිබෙනවා.

අර්ධ ඇතුල්වීමේ සීමාවන්ට යටත් වන රටවල් සංඛ්‍යාව ද 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ, ස්තුති දීමේ සතියේදී වොෂින්ටන් අගනුවර සිදුවූ වෙඩි තැබීමක් පසුබිම් කරගෙනයි.

මේ වසරේ අප්‍රේල් මාසයේදී සරණාගතභාවය ලබා අමෙරිකාවට පැමිණි 29 හැවිරිදි ඇෆ්ගන් ජාතිකයෙක් එම සිද්ධියේ සැකකරුවෙකු ලෙස හඳුනාගැණුනා.

එමෙන්ම, “තුන්වැන ලෝකයේ රටවලින්” සංක්‍රමණය ස්ථිරව අත්හිටුවන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.