රුසියානු දූත පිරිසක් හෙට දිනයේ දිවයිනට

රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා ප්‍රමුඛ විශේෂ රුසියානු දූත පිරිසක් හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.

රුසියානු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිනවා. ඔවුන් ශ්‍රී ලංකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිතයි.

රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයාගේ මෙම තෙදින නිල සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවට අවශ්‍ය බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන සහනදායී මිලට ලබාදීම සඳහා වන විශේෂ ගිවිසුමකට එළඹීමයි.

පවතින මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාවට රුසියානු සහයෝගය අතිශය වැදගත් වන අතර සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.