මහත් ආන්දෝලනයකට තුඩු දුන් රෝයල් පාක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වීමෙන් අනතුරුව ජනාධිපති සමාව මත නිදහස් වී මේ වනවිට රටින් පලා ගොස් සිටින ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා මේ වන විට රතු නිවේදන නිකුත් කර තිබෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
අදාල විත්තිකරු ජනාධිපති සමාව මත නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීන්දුව බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී තීන්දුවක් ලබාදී තිබුණා.
එම නඩුකරය අද යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා විසින් මෙම දැනුම් දීම සිදුකළා.
මෙම පෙත්සම අද එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී රටින් පලා ගොස් සිටින අදාළ විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග ඇතුළත් රහසිගත ලේඛන ඇතුළත් ගොනුවක් රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
එසේම අදාල විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබෙන බවත් රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.
එහිදී විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම කරුණු අදාල නඩු තීන්දුව ලබා දුන් විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීය යුතු බවයි
ඒ අනුව එස්.තුරෙයිරාජා,යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ලබන සැප්තැම්බර් මස 01 වනදා කැඳවීමට නියම කෙරුණු අතර එදින අදාළ කරුණු දැක්වීම සිදුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් රජයේ නීතිඥවරයාට නියම කළා.
කාන්තා මාධ්‍ය එකමුතුව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
ඒ පිළිබඳ විභාගයක් පැවැත්වූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රෝයල් පාක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ අනුව එම සමාව බල රහිත කිරීමටත් මීට පෙර තීරණය කර තිබුණි.
ඉන් අනතුරුව අදාළ විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට කරනු ලැබූ නියෝගයකට අනුව මෙම නඩුකරය අද කැඳවා තිබුණා.
අදාල විත්තිකරු සිංගප්පූරුවේ සිටින බවට මුලින්ම තොරතුරු ලැබී තිබූ අතර අදාල පුද්ගලයා මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් සිංගප්පූරු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.
එහෙත් අදාල විත්තිකරු සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව අදාල විත්තිකරු සිටින්නේ කුමන රටේද? යන්න අනාවරණය කර ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ඔහු බැංකු සමග මූල්‍ය ගනුදෙනු සිදුකර තිබේද යන කරුණු අනාවරණය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්ව විමර්ශන සිදු කරන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.
