ලංගම බස් රථයක එන්ජිමකට යූරියා දාලා

නුවරඑළිය ඩිපෝවට අයත් ගාල්කර තිබූ බස් රථයක එංජිමට යූරියා පොහොර දැමීමක් සම්බන්ධයෙන් නුවරඑළිය හයිෆොරස්ට් පොලීසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

නුවරඑළියේ සිට හයිෆොරස්ට් දක්වා දිනපතා ධවනය වන එන්.බී. 8933 දරණ බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල් කර තිබියදී (12) වැනි දින රාත්‍රියේ කිසියම් පුද්ගලයෙක් විසින් බස් රථයට අතුලු වී බස් රථයේ එන්ජීමේ මූඩිය ගලවා බස් රථයේ එන්ජිම තුලට යූරියා පොහොර බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍යක් දමා ඇති බවට එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් හයිෆොරස්ටි පොලිසියට පැමිණිලි කර ඇත.

රාත්‍රි කාලයේ බස් රථය ගාල් කර උදෑසන බස් රථය ධාවනය කිරිමට ප්‍රථම එන්ජිමේ තෙල් පරික්ෂා කිරීම සදහා එන්ජිම ආවරණය විවෘත කර බැලීමේදි බස් රථයේ එන්ජිමේ මූඩිය ගලවා තිබූ බවත්, ඒ අසළ සුදු පාට යූරියා පොහොරවලට සමාන රසායනික ද්‍රව්‍යක් එන්ජිම වටා වැටී තිබූ බව එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා කරන ලද පැමිණිල්ලේ සදහන් කර ඇත.

අප මේ සම්බන්ධයෙන් නුවරඑළිය ඩිපෝවේ ඩිපෝ කළමණාකාරවරයාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ බස් රථයට කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් එක්ව එන්ජිම තුලට යූරියා පොහොර දමා ඇති බවටයි.

ඒ අනුව බස් රථය පණ නොගන්වා ඇඳගෙන නුවරඑළිය ඩිපෝව වෙත රැගෙන විත් එංජිම ගලවා පරීක්ෂා කිරිමට පියවර ගන්නා බව ඔවුන් සඳහන් කළේය.