රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධි චෝදනා පත්‍රයට සංශෝධන කීපයක් එක් කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව අදාල අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අධිකරණය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නා.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් මෙම අධි චෝදනා පත්‍රය හා සම්බන්ධ ලේඛන ඇතුළත් සංයුක්ත තැටියක් විත්තියේ නීතිඥවරුන්ට ලබා දුන්නා.
ඒ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ලේඛන මුද්‍රිත පිටපත් වශයෙන් ලබා දෙන්නේ නම් එය ඉතා වැදගත් බව සඳහන් කළා.
ඒ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය ප්‍රකාශ කළේ මෙම නඩුකරයට අදාළව ඇමුණුම් වශයෙන් ලේඛන රාශියක් ඉදිරිපත් වී ඇති නිසා ඒවා සංයුක්ත තැටියක් වශයෙන් ලබාදීමට කටයුතු කළ බවයි.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනරජයට සිදුවන අපහසුව සැලකිල්ලට ගෙන මෙම සංයුක්ත තැටිය භාර ගැනීමට සූදානම් බවත් යම් ලේඛනයක් සම්බන්ධයෙන් ගැටළුවක් මතු වුනොත් එහි පිටපත් ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළා.
එවිට විනිසුරුවරයා ද අල්ලස් කොමිසමට දැනුම් දුන්නේ විත්තිය විසින් යම් කිසි ලේඛනයක් ඉල්ලා සිටියහොත් එය පිටපත් වශයෙන් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට එල්ල කර තිබෙන අධි චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නා.
එහිදී විනිසුරුවරයා සඳහන් කළේ එම මූලික විරෝධා නඩු විභාගය ආරම්භ කරන අවස්ථාවේදී ඉදිරිපත් කරන ලෙසයි.
ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස අධිකරණය විසින් නියම කළා.
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා මව්බිම, සිලෝන් today, ලංකාදීප, රිවිර ඇතුළු පුවත්පත්වල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් 11 ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබෙනවා.
