ලෝක වෙළඳපොළේ ආහාර මිල ඉහළ යා හැකියි

        බලශක්ති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සාමාජික රටවල් 32 ක සහභාගිත්වයෙන් හදිසි රැස්වීමක් පවත්වා තිබෙනවා.  ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් සඳහන් කරන්නේ, අර්බුදය පාලනය කිරීමට සාමාජික රටවල් සතු ඉන්ධන සංචිත වෙළෙඳපොළට මුදාහැරිය යුතු බවයි. 

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා ලෝක වෙළඳපොළේ ආහාර මිල ඉහළ යා හැකි බවට එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ ආයතනය අනතුරු අඟවනවා. එම ආයතනය පෙන්වා දෙන්නේ, මෙමඟින් විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

ගෝලීය බොරතෙල් සැපයුමෙන් සියයට 38ක් සහ ද්‍රව ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 19ක් මෙන්ම පොහොරවලින් තුනෙන් එකක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන බවද එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ ආයතනය පවසනවා.       

බලශක්ති සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ලොව පුරා ආහාර මිල ඉහළ ගොස් ජීවන වියදම් පීඩනය දැඩි වනු ඇති බවද එම ආයතනය අවධාරණය කරනවා. විශේෂයෙන් මෙම මුහුදු මාර්ගය හරහා සිදුවන වෙළඳාමෙන් සියයට 84ක ප්‍රතිලාභ ලබන ආසියානු කලාපයට මෙහි බලපෑම දැඩිව එල්ල වනු ඇති බවටයි එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ ආයතනය අනතුරු අඟවා ඇත්තේ.