වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම අද සිට ඩිජිටල් වෙයි

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලොක්ට්‍රොනික පද්ධතිය ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදි මෙම පද්ධතිය විවෘත කෙරෙනු ඇති.

දූෂණ විරෝධි පනත මගින් ඇති කළ ශත්තිමත් නෛතික රාමුව ප්‍රායෝගිකව බල ගැන්වීමේ එක් සුවිශේෂි තාක්ෂණික අවශ්‍යතාවක් සපුරාලමින් මෙම පද්ධතිය ක්‍රියාත්මක කෙරෙන අතර අල්ලස් කොමිසම පවසන්නේ මෙය දූෂණ මර්දන කර්ත්‍යවයට නවීනත්වය, ස්වාධීනත්වය සහ කාර්යක්ෂමත්වය එක් කිරීමක් බවයි.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදුවූයේ මුද්‍රිත ආකෘතියක් අතින් සම්පූර්ණ කිරීමක් ලෙසයි.

මෙලෙස ඩිජිටල් කරණයට ලක්‍ කර ඇති මධ්‍යගත ඉලොක්ට්‍රොනික පද්ධතිය මගින් සාවද්‍ය ආකාරයෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සහ අසාමාන්‍ය වත්කම් රැස් කිරීමේ තත්වයන් හඳුනාගැනීම සඳහා සත්‍යායන පහසුකම්ද සලසමින් නව පද්ධතිය නිර්මාණය කර තිබෙනවා.